Friday, September 6, 2013

මැජරෙගේ වික්‍රමය ඇතුලු පාසල් මතක...




අන්තිම බ්ලොග් පෝස්ට් එක ලියලා සෑහෙන්න දවසක්. බාගෙට කියාගෙන ආපු කතාන්දර වගේම බාගෙට ලියපු බ්ලොග් සටහන් කීපයක්ම පලකරන්නත් තියෙනවා. ඒ අතරේ අද උදේ ඉඳං  මතක් වෙච්ච පරණ රස කතා කීපයක් කොටා දාන්න ඕනේ කියලා හිතුනා.

පෙරාගේ ඉස්කෝලේ පිහිටීම ගැන කියනවා නම් කොළඹ ප්‍රසිද්ධම හෝටලයක් ඉස්සරහා තමා ඉස්කෝලේ පිහිටලා තියෙන්නේ. හෝටලක් කිව්වාම වැරදියට වටහා ගන්න එපා. මේක තරු පන්තියේ සුඛෝපබෝගී කාමර තියෙන දේශීය විදේශීය සංචාරකයන් නිවාඩුවට ඇවිත් යන හෝටලයක් නම් නෙමෙයි. මේක කෑම කඩයක්. හැබැයි මේක බාල, මහලු, දුප්පත්,පොහොසත් හැමෝම දන්න පට්ට හෝටලයක්. පෙරා ඉස්කෝලේ ගිය පළවෙනි දවසේ පෙරාගේ තාත්ත පෙරාට ඔය හෝටලයෙන් බිත්තර බුරියානි එකක් අරගෙන දුන්නා පෙරාට මතකයි. එතනින් පටංගත්ත පටං ගැනිල්ල ගෙදරින් කෑම පෙට්ටිය නවත්තපු දවසේ ඉඳං ඉස්කෝලෙන් අයින් වෙන දවස වෙනකං පෙරා කෑවේ ඔය හෝටලෙං. 

පෙරාගේ පුංචිගේ පොඩි එකා පෙරා ගිය ඉස්කෝලේටම සම්මුඛ පරීක්ෂනයට ගිය දවසේ පෙරා ඌවත් ඔය හෝටලේට එක්ක ගිහින් කන්න අරන් දුන්නා. ඌ නම් බිත්තර බුරියානි එකකින් නැවතුනේ නෑ. ඌ ඉල්ලුවේ දුඹුරු පාට කුකුලෙක් ඉන්න පාට පාට බත් එකක්. ඒක කාලා ඌ අයිස්කිරිමකුත් දෙසලයි හෝටලෙන් එලියට ආවේ.  ඌට ඉස්කෝලේ පැහැදිලි අනාගතයක පෙරමඟ ඇස් පනාපිටම පෙනුනේ එහෙමයි. 

පෙරා ඉස්කෝලෙට ඇතුල් උන දවසේ ඉඳං ඉස්කෝලෙන් අයින් වෙලා කනිශ්ඨ ආදිශිෂ්‍ය සංගමයට එකතු වෙලා ඒකෙත් වසර කීපයක් ඉන්නකන්ම ඉස්කෝලේ විදුහල්පතිතුමා විදියට හිටියේ වීරතුංග මහත්තයා. අදට උනත් වීරතුංග සර් කොහෙදි හම්බ උනත් පපුව ගැහෙන්න ගන්නේ ඩක් ඩක් ගාලා. එච්චරට පෙරා සර්ට බයයි. ඒ උනත් අනිවාර්යෙන්ම වචනයක් කතා කරලා කකුල් දෙක අල්ලලා වැඳලා එන්නේ එච්චරටම වීරතුංග සර්ට ගරු කරන නිසයි. එතුමා වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම විදුහල්පතිතුමෙක් කියලා කටක් ඇරලා බය නැතුව කියන්න පුළුවන් චරිතයක්. ගරු ගාම්භීරයි. හරිම වසයි. කොයි වෙලාවකවත් හිනාවක් මූනේ නෑ. වීරතුංග සර් හිනා වෙනවා දැකලාම නැති තරම්. පිරිමි පාසලක්, විශේෂයෙන්ම පෙරාගේ ඉස්කෝලේ වගේ එකක් පාලනය කරන්න ඒ වගේ නැතුව බෑ. 

වීරතුංග සර් දවසට කීප සැරයක් පාසල වටේ ඇවිදිනවා. යන්නේ අතේ තඩි යතුරු කැරැල්ලකුත් අරගෙනයි. කොරිඩෝවේ එහා කෙරවලේ සර් එනකොට මෙහා කෙරවලට යතුරු කැරැල්ලේ සද්දය ඇහෙනවා. ඒ නිසා ඔය යතුරු කැරැල්ල තමා සර් එන සිග්නල් එක. ඔය යතුරු කැරැල්ල අපිට බොහෝම ප්‍රයෝජනවත් දෙයක් උනා. ඒ වගේම තමා ඒකේ අනිත් පැත්ත. සර් සෑහෙන්න උස මහතයි. අඩි 06ක් උස වෙච්ච පෙරා අදටත් සර් දිහා බලන්නේ උඩ බලලා. සර් ගේ අතකින් පාරක් කනවා කියන්නේ පුදූම සනීපයි.  මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා ගුටි පූජාවකට සැට් උනාම  ගුටි පූජාව දෙන්නේ යතුරු කැරැල්ලත් අතේ තියාගෙනයි. ඒක තමා යතුරු කැරැල්ලේ නරක පැත්ත.

වීරතුංග සර් හිනා වෙනව දැකපු එක දවසක් පෙරාගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙනවා. ඒ කතාව කියලා ඉන්නම්. පෙරාගේ ඉස්කෝලේ ඇතුල හරිම ලස්සනයි. මේක වර්ණනා කිරීමක් නෙමෙයි. සත්‍යවශයෙන්ම පාසල් ගේට්ටුවෙන් ඇතුල් වූ තැන සිට ප්‍රාථමික අංශය, ක්‍රිඩාංගනය, ශ්‍රවනාගාරය හරහා කාර්යාලය දක්වා යන පරිසරය බොහෝම නිස්කලංකයි. අලංකාරයි. මේ ආකාරයෙන් පාසල ලස්සනට තියාගන්න අපේ වීරතුංග සර් බොහෝම කැමැත්තක් දැක්වුවා වගේම බොහෝ දේවල් කලා. පෙරාගේ ඉස්කෝලේ වටේම නුග ගස් තියෙනවා. ප්‍රින්සිපල් සර් ගේ කාර්යාලයට නුදුරින් තියෙන ඒ වගේ නුග ගසක් ලඟ සංවර්ධන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබුන දවසක් ඒ. පෙරා සාමාන්‍යපෙල හදාරන කාලේ. ඔය මම කියපු නුග ගස අවට තණ පිඩැලි අල්ලලා අලංකාර වැටක් නිර්මානය කරලා ඒ වටා අලංකාර මල් පැල වවලා තිබුනා පෙරාට මතකයි. ඒ වගේම තමා   ඒ ආශිත කලාපය අපි වගේ ගස් පාලුවන්ට තහනම් කලාපයක් කරලා තිබුනේ යකඩ වැටට මෙපිටින් තවත් තඩි ලී වැටක් ගහලා. ඒ කලාපයට යන්න අවසර තිබුනේ ගස් වලට වතුර දාන අයට විතරයි. කිසි කෙනෙක් හොරෙන්වත් රිංගුවේ නැත්තේ ඔය තහනම් කලාපයට මොකෙක් හරි එකෙක් රිංගුවොත් සර්ට කාර්යාලයේ ඉඳං කෙලින්ම පේන නිසයි.  

ඔය තහනම් කලාපය මායිම් වෙලා තිබුනේ එක පැත්තකින් ක්‍රීඩාංගනයට. ඉතිං ඕක ඇතුලට බෝලයක් ගියොත් ගන්නවා බොරු. ඒ නිසා ක්‍රිකට් ගහන වෙලාවට එහෙට ගහපු එකා අවුට් වගේම ඌ අලුතෙන් බෝලයක් අරගෙන එන්නත් ඕනේ. පෙරා සාමාන්‍යපෙල කරන කාලේ ඉස්කෝලේ සතියට PT පිරියඩ් දෙකක් තිබුනා. ඔය පීරියඩ් දෙකේ ඉතිං කොරපු ව්‍යායාමයක් නෑ. කොරේ ග්‍රවුන්ඩ් එකට පැනලා ක්‍රිකට් ගහන එකයි. පීටී පීරියඩ් එකට ග්‍රවුන්ඩ් එකේ මොකෙක්වත් නැති නිසා නිදහසේ පිච් එකක් අල්ලගෙන ක්‍රිකට් ගහන්න පුළුව්න්. ඔහොම පිටී දවසක වෙච්ච සිදුවීමක් මේ. පන්දුවට පහර දෙමින් සිටියේ "මැජරයා". උගෙ ඇත්ත නම මම අදටත් දන්නේ නෑ. දන්න දවසේ ඉඳං ඌ "මැජරයා". 


මැජරේ හිටියේ ඕවරේ පලමු පන්දු දෙකට හතරේ දෙකක්  වනලා. ඊළගට බොලේ මැද කෙටිලා බැට් එකටම ආවා. එහෙම බෝලෙකට නොගහා ඉන්නේ මොන හිතකින්ද කියනවා වගේ ඌ වැනුවේ තහනම් කලාපයට තඩි පොල් අඩියක්. පෙරා හිටියේ තහනම් කලාපයට කිට්ටුවෙන් පන්දු රකිමින්. මැජරේ අවුට් උනා විතරක් නෙමෙයි. ඌ දැං බෝලයක් ගේන්නත් ඕනේ. තිබුනේ එක බෝලයයි. අපේ පිටී පිරියඩ් එකම කෙල වෙනවා බෝලයක් නැති උනොත්. මැජරේ ගත්තා පුරුස ශක්තිය කකුල් දෙකටයි අත් දෙකයි හිමීට කිට්ටු උනා තහනම් කලාපයට.

"මොකද්ද තෝ කරන්න යන්නේ?" මම ඇහුවා.

"බෝලේ ගන්න යන්නේ පැනලා" මැජරේ එහෙම කිව්වේ එක කකුලක් වැටෙන් ඇතුලට ඔබමිනුයි. 

මමත් ඉන් එහාට මොකුත් කීවේ නැත්තේ බෝලේ නැති උනොත් මැච් එකේ මට බැට් කරන්න තියෙන චාන්ස් එක නැතිව යන නිසයි. 


හිමින් හිමින් වැටෙන් රිංගපු මැජරේ  අලුත අල්ලලා තිබුන තනපිඩලි මල් ගස් මැද්දෙන් ගිහින් බෝලේ අතට ගත්තාවිතරයි....

"අල්ල ගනින් ඕකව.. වර තෝ එලියට... "

ඝර්ජනාත්මක ස්වරූපයෙන් මගේ දකුණු පැත්තෙන් හිටියේ ප්‍රින්සිපල් සර්... 

මගේ කකල් දෙක වෙවුලන්න ගත්තේ නොදැනුවත්වමයි. මැජරේ බෝලේ එක තත්පරෙන් ග්‍රවුන්ඩ් එකට විසි කරේ ඌ ගුටි කෑවත් බෝලේ නැතුව පන්තියේ උන්ගෙන් බැනුම් අහන එකට වඩා ගුටි කන එක සැපයි කියලා හිතලද කොහෙදෝ... බෝලේ විසි කරපු මැජරේ වැටෙන් පැනලා සර් ගාවට ආවා. මම හිටියේ ඊට ටිකක් දුරින්. මට සර්ගෙන් හානියක් නැති බව තේරෙන්න මට තත්පර කිපයක් ගියා. මැජරේ ලඟට ආවා විතරයි පිට මැද්දට දාර පාරක් වැදුනා ඌට සර්ගෙන්.. ඒ පහරට ඌ වටයක් කැරකුනා. සර් ඌව අල්ලගත්තේ බෙල්ලෙන්

"තෝ මේකට රිංගන්නේ කාගෙන් අහලද බොල මීමෝ? උඹ දන්නවාද මම මේක හදන්න කොච්චර මහන්සි උනාද වියදම් කරාද කියලා?" මැජරෙව බෙල්ලෙන් අල්ලගෙන සර් ඇහුවා. 

මැජරේ සද්ද නෑ..

"කතා කරපං බුරු පුතේ" සර් තවත් හයියෙන් ඇහුවා..

"දන්නේ නෑ සර්.." මැජරේ අඬන්න ඔන්න මෙන්න. 

"මේකට ලක්ෂයකට වඩා වියදම් කරලා තියෙනවා යකෝ" සර් ආයේ කෑමොර දුන්නා..

"ඇත්තට සර්... එච්චර වියදම් වෙන්න විදියක් නෑ නේ" 

ඒ වචනේ මැජරෙගේ කටින් පිට උනා විතරයි කකුල් දෙකේ ඉඳං කරන්ට් එකක් මගේ ඇඟ හරහා ඔලුවට ගියා වගේ මට දැනුනා. ඊලඟ මිනිත්තුවේ මැජරේ කන කෑම මට එක තත්පරෙන් මැවිලා පෙනිලා ආයේ නැතිවෙලා ගියා. මැජරේ ආයේ ඉස්කෝලෙ එන්නේ නැතිවෙයිද,මූව අස් කරලා දායිද, මූට ඕලෙවෙල් කොරන්න බැරි වෙයිද ඔය වගේ දාහක් දේවල් ඒ තත්පරේට පෙරාගේ ඔලුවට ආවා. ඒත් සිද්ධ උනේ වෙන දෙයක්. 

ඌ ඒක කිව්වා විතරයි සර්ට බකස් ගාල හිනා ගියා...

"මූ පිස්සෙක්ද කොහෙද.. පලයල්ලා ඔක්කොමලා පන්තියට " කියපු සර් හිනා වෙවී කාර්යාලයට ගියා.

මාව පියවි සිහියට එන්න මිනිත්තුවක් විතර ගත වෙන්න ඇති. ඇත්තටම මැජරෙට වඩා මම බය වෙලා හිටියා කියන එක තමා හරි.    

මැජරේ එහෙම කීවේ බයටද, නැත්තම් විහිලුවටද, ඒත් නැත්තම් සිරවටමද කියලා අදටත් මම කල්පනා කරනවා. 

තව කතාවක් කියලම නවතින්නම්. මේක උනේ උසස්පෙළ කරන කාලේ. යලට මහට කොල්ලෝ ඉස්කෝලෙ ආවත් පෙරාට පැමිනීම 94%ක් තිබ්බා. පෙරා අවසාන කාලේ ඉස්කෝලේ ආවේ රෙජිස්ටරේට එක දාගන්න ඕන නිසයි. පොත් නැතුව ඉස්කෝලේට එන පෙරා ගේට්ටුවට මොකක් හරි කියලා එලියට යනවා. ඉස්සරහ කඩෙන් මොනවා හරි අරගන්න යනවා වගේ තමා එලියට පැන ගන්නේ. පොත් බෑග් එකක් නැති නිසා සික්කා යන්න දෙනවා. ඒත් පෙරා නෙමෙයි ආයේ ඇතුලට එන්නේ. 

ඔය වගේ දවසක පෙරා රෙජිස්ටරේට එක දාගෙන හිමින් හිමින් ගේට්ටුවට කිට්ටු කරනවා. නොසිතු විරූ ලෙස ගේට්ටුවෙන් ඇතුලට ආවේ ප්‍රින්සිපල් සර්.. කට උත්තර නෑ. අතේ මාට්ටු.. ගුටි කන්න පෙරා කෝකටත් කියලා හිත වගේම ගතත් හදාගත්තා. 

"කොහෙද තමුසේ යන්නේ?" සර් සුපුරුදු ස්වරූපයෙන් මගේ ඇඟට ගොඩ උනා..

පෙරාට ගණදෙවි ආශිර්වාදය තියෙනවා කියලා දැනගත්තේ එදා තමා.

"සර්.. අපේ පන්තියෙ එක්කෙනෙක්ගේ කලිසම ඉරිලා.. සිප් එක ගාවින්ම කැඩිලා සර්.. මම මේ ඉස්සරහා කඩෙන් කටු කැරැල්ලක් අරගෙන එන්න යන්නේ සර්" ඒ වචන කීපය තුල සෑහෙන වතාවක් මම සර් සර් කීවා....

"කටු... පලයං පන්තියට මගෙන් කන්නේ නැතුව" 

එහෙම කිවා විතරයි.. මිටින් හල කුරුල්ලෙක් වගේ පෙරා පන්තියේ....

පැය භාගයක් පන්තියේ ඉන්න ඇති... ආයේ සික්කට කොකා පෙන්නපු පෙරා ගේට්ටුවෙන් මාරු උනා..


2 comments:

  1. හෝටලේ රහීමා එකද...?

    ReplyDelete
  2. කලින් පෝස්ට් එක බලලා එන්නම්...

    ReplyDelete