Tuesday, November 13, 2012

අඩි යෙන්නඩී රාකම්ම්මා........

අපේ සැට් එකේ ඉන්න චාමික.. අපේ කට වචනයෙන් කියනවා නම් චාමියා කියන්නේ තනිකරම රසකතා සාගරයක්. මුලූ ට්‍රිප් එකම තනිකරම පිස්සු ලෝකයක් කරන්න චාමිකට ගත වෙන්නේ මිනිත්තු කීපයයි. ඇඟෙන් පතෙන් එච්චරම ලොකු මිනිහෙක් නොවුනත් බොක්ක නොම්මර එකේ බොක්කක්. හිත හොඳ සුපිරි කොල්ලෙක්. ආයේ ට්‍රිප් වල සුපිරිම ආතල් දෙන එකෙක් තමා චාමියා. සමහරු නම් චාමියගේ බ්ලොග් එක ගැන හොඳට දන්නවා ඇති. ඔව්.. මේ ඌ තමා.. චාමිකයගෙ බ්ලොග් ඉසව්ව කරන චාමික ගැන තමා මම මේ කියන්නේ. (අපේ සෙට් එකේ 12යි. ඒ 12 දෙනා අදූරගන්න මෙතනින්.) 


ට්‍රිප් අතරතුර සිද්ද වෙච්ච රසකතා නම් තියෙනවා අනන්තවත්. අද කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.
මේ 2011 අවුරුද්දේ මුල් කාලේ. දිනය නම් හරි නිච්චියක් නෑ. අපේ ප්ලෑන් එක උනේ රේල් හයික් එකක් කරන්න. මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමුම අමු කෝච්චි පිස්සෙක්. මගේ නිවස පිහිටලා තියෙන්නේ පැරණි මුතුවැල්ල දුම්රිය මාර්ගයත් ප්‍රධාන මාර්ගයත් අතර මැද. අවුරුදු 13ක් ඉස්කෝලේ ගියේ රේල් පාර දිගේ. අවුරුදු 26ක් හැදුනේ වැඩුනේ කෝච්චි සද්දෙත් එක්ක. ඒ නිසාමද මන්දා කෝච්චි වලට කුඩා කාලයේ ඉදං තිබුනේ පුදුම ආසාවක්. බ්ලොග් අවකාශයේ කෝච්චියා ගැන අටුවා ටිකා ඕනේ නෑ නේ. බ්ලොග් එකක් කියලා ඉස්සෙල්ලාම මම කියෙවුවේ ගෙහාන්ගේ බ්ලොග් එක. හැබැයි උගෙයි මගෙයි යාළුකම ඊට සෑහෙන කාලෙකට කලින් ඉඳං එන එකක්. 


රේල් හයික් ගැන කියපු නිසා තව පොඩි දෙයක් කියන්නම්.  නානුඔය-අඹේවෙල- පට්ටිපොල-ඔහිය-ඉදල්ගස්හින්න කියන්නේ රේල් පාරේ ඇවිදීම විනෝදාංශයක් කරගත්ත අයගේ ප්‍රධානම දුම්රිය ස්ථාන කීපය. හයිකිං ආරම්භ කරන කෙනෙකුගේ ආරම්භය මේ දුම්රිය ස්ථාන අතරින් එකක් කීවොත් ඒ තර්කය 95% කටම ඇත්ත. (මමත් ඇතුලුව) නමුත්  අද වෙනකොට නානුඔය-අඹේවෙල-පට්ටිපොල අතර ප්‍රදේශය හයික් වලට තහනම් කලාපයක් බවට පත් කරලා තියෙනවා. 

ආයේ කතාවට යන්නම්කෝ...
ඔන්න ඉතිං අපේ ගමනේ පරමාර්ථය උනේ ලංකාවේ දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම බිං ගෙවල් සංඛ්‍යාවක් පිහිටලා තිබුන ඔහියත් ඉදල්ගස්හින්නත් අතර දුම්රිය මාර්ගයේ සංචාරය කරන්න. හැමදාමත් වගේ කොටුවෙන් රෑ 8ට පිටත්වෙන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කරන්න අපි යොදාගෙන තිබුනේ. එදා අපේ ගමනට එකතු උනේ අපේ කන්ඩායමෙන් 05 දෙනෙක් විතරයි. ඒ මමත්, කඩියත්,චාමියත්,බන්ඩත්, දිලුමත්. බන්ඩා ඇරෙන්න අනිත් 04 දෙනාම කොටුවෙන් කෝච්චියට ගොඩ උනා. බන්ඩා ගම්පොලින් අපිත් එක්ක සෙට් වෙන්න නියමිත වෙලා තිබුනේ. ආහාර, පානය කරන ජාති වගේම ටෝච්, ඉටිපන්දම් එහෙමත් අරගෙන අපි කෝච්චියටගොඩ උනා. දිනය සිකුරාදා දවසක් කියලා තක්කෙටම මට මතකයි. සිකුරාදා දවසට බදුල්ල මේල් එකේ තුන්වෙනි පන්තියේ තදබදය ගැන කියන්න ඕන නෑ නේ. කටකපලා සෙනඟ. කොටුවෙන්ම සීට් වලට මරාගන්නවා. කොහොම හරි අපි පොරකාලා තුන්වෙනි පන්තියේ ආසන  අල්ලා ගත්තා. වාසනාවකට වගේ එක ලඟ සීට් අපි හතර දෙනාටම හම්බ උනා. දුම්රියේ තුන්වෙනි පන්තියේ ආසන සැකැස්ම ගැන ඔයලා දන්නවා ඇතිනේ. මූලට මූන බලාගෙන ඉන්න පුළුවන් ආකාරයට අතර මැද කුඩා ඉඩක් තියෙන ආකාරයට තමා මේ ආසන සකස්වෙලා තියෙන්නේ. 


ඔන්න ඉතිං කෝච්චිය 08ට පිටත් උනා... දැං කට කපලා සෙනඟ. අපි වාඩි වෙලා හිටියේ දෙන්නා දෙන්නා මූනට මූන බලාගෙන ඉන්නා ආකාරයට. රාගම දුම්රිය ස්ථානය පහු උනා විතරයි. අපි ඉන්න තැනට ටිකක් වයසක මනුස්සයෙක් ආවා. පෙනුමෙන් වගේම කතාවෙන් දෙමළ මනුස්සයෙක් කියලා තේරුම් ගන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ.


"පුතාලා මට  ඉඩ පොඩියක් දෙනවද...."
එහෙම කියපු අර මනුස්සයා අතෙ තිබුන බෑග් එකෙන් ඇදලා ගත්තේ ඇඳ රෙද්දක්. සිංහලෙන් කීවොත් බෙඩ් ශීට් එකක්. අපි 04 දෙනාගේ කකුල් ඈත් මෑත් කරලා ඉඩ හදා ගත්ත මේ මනුස්සයා මෙන්න සීට් දෙක අතර බෙඩ් ශීට් එක එලුවා.. අපිට දැං නිකන් මෝල් වගේ. මොකද්ද මේ කරන්න හදන්නේ කියලා තේරුම් ගන්න අපිට ටිකක් වෙලා ගියා. අපෙ කකුල් පාමුල රෙද්ද එලලා.. බෑග් එකෙන් තවත් බෙඩ් ශීට් එකක් අරගෙන,ගමන් මල්ල ඔලුවට තියාගෙන, අනිත් රෙද්ද ඔලුවේ ඉඳං පෙරවගෙන මෙන්න මේ මනුස්සයා නිදි... 
අපි එකෙකුටවත් දැං කකුල් දෙක හොල්ලන්නවත් බෑ. විනාඩි 10ක් ගියේ නෑ. මෙන්න මේ යකා ඒ පාර ගොරවන්න ගත්තා...
අයියෝ.. සල්ලි කිව්වලු..


දැං ඉතිං ගහන්න යෑ මේ යකාට... මොනා උනත් අමාරු නිසානේ නිදියන්නේ. එක්කෝ රස්සාව කරලා මහන්සි ඇති. එහෙම හිතලා අපි හතර දෙනා හිත හදා ගත්තා.. හැබැයි ඉතිං එහෙම හිත හදා ගත්තට අපි වාඩි වෙලා හිටියේ නම් හරිම අමාරුවෙන්. මම මේ කියන දේ ඔයාලට තේරෙනවා ඇති කියලා හිතෙනවා. අපෙත් අඬු බඬු දිගයි. එක අතකින් මහන්සියයි, නිදිමතයි. ඒ අස්සෙ කකුල් දෙක හොල්ලන්නවත් බෑ. මේ යකා කකුල් පාමුල හොඳට පොරවං නිදි. කොහොම හරි මාරුවෙන් මාරුවට අපි එක එකා කකුල් අනිත් සීට් එක උඩ තියාගෙන අමාරුවෙන් හිටියා. ගම්පොලට කෝච්චිය එනකොට හරියටම රෑ 12 වෙනවා. ගම්පොල ඔරලෝසු කණුවෙ 12 ඉලක්කම පේනකොට කොච්චිය ඉස්ටෙසමට ඇතුල්වෙන එක නයිට් මේල් එකේ ගිහින් තියෙනවා නම් ඔයාලා දකින් සුලභ දර්ශනයක් වෙනවා නොඅනුමානයි. ගම්පොලින් තමා බන්ඩා නගින්න නියමිත වෙලා තිබුනේ. කොහොමහරි කරලා බන්ඩවත් අපේ ලඟට ගෙන්න ගත්තා. අපි හතර දෙනා හිටිය හැටි දැකලා බන්ඩා බඩ අල්ලගෙන හිනා. මොනා කරන්නද. කොහොම හරි කට්ට කාගෙන හිටියා. ගම්පොල, නාවලපිටිය වෙනකොට අර හිටිය සෙනඟ යම් තරමක් දුරට අඩු වෙලා. නාවලපිටිය ඉස්ටේසම පහු උනා විතරයි මෙන්න මේ මනුස්සයා දඩ බඩ ගාලා නැගිට්ටා. වෙලාව 1 පහු උනා විතරයි.



පෙරවං හිටිය ශීට් එක නවලා බෑග් එකේ ඔබා ගත්තා. එලාගෙන හිටිය ශීට් එකත් බෑග් එකේ ඔබා ගත්තා. බෑග් එකේ ලට්ට ලොට්ට අතරට අතදාලා හොයලා ගත්තේ දත් බුරුසුවකුයි ටූත් පේස්ට් එකකුයි. බුරුසුවට පෙස්ට් ටිකක් දාගත්ත මේ මනුස්සයා ගියේ කෙලින්ම දුම්රියේ වැසිකිලියට. අපි වාඩෙවෙලා හිටියේ කෝච්චි පෙට්ටියේ පලවෙනිම සීට් එකේ. ඒ කියන්නේ වැසිකිලිය අයියෙම තියෙන සීට් එකේ. දං මහ සද්දෙන් මෙ මනුස්සයා දත් මදුනවා. උගුර කාරනවා. අපිට දැං නිකං මෝල් වගේ.  මෙන්න ටික වෙලාවකින් බෑග් එක ගාවට ආපු මේ ඩයල් එක ආයේ අරගත්තේ බෑග් එකට අත දාලා රැවුල කපන රේසරයක්. අපිත් එක්ක හිනා වෙවී...
"රැවුල පොඩ්ඩක් කපං එන්නම් පුතාලා"
කියලා ආයේ දුම්රිය වැසිකිලියට රිංගා ගත්තා.. අපි එකිනෙකා මුනට මූන බලාගෙන. මූනකට හෝදලා රැවුලත් කපාගෙන අපේ ගාවට ඇවිත් අපේ සීට් එක ගාවම දැං ඒ මනුස්සයා ආයේ හිටගෙන ඉන්නවා.
හැටන් වලට කෝච්චිය එනකොට පාන්දර දෙක පහු උනා විතරයි



හැටන් වලින් සෑහෙන පිරිසක් කෝච්චියෙන් බැස්සා. අපි වාඩි වෙලා හිටියේ තුන් වෙනි පන්තියේ එක් ආසනයක තුන බැගින්  හය දෙනෙකුට වාඩි වෙලා යන්න පුලුවන් සීට් එකක. අපේ සීට් එකේ  කෙරවල දෙකේ හිටි දෙදෙනා හැටන් වලින් දුම්රියෙන් බැසගත්තා. ඉන් පස්සේ එක් කෙරවලක අපේ බන්ඩත් අනිත් කෙරවලේ අපේ අංකලුත් වාඩි උනා. 


දැං එක සීට් එකක මමයි, දිළුමයි,බන්ඩයි. අනිත් එකේ ජේකේ, චාමික එක්ක අර අංකල්. අංකල් ගාවම වාඩිවෙලා ඉන්නේ චාමික. චාමික ගාවින්ම අංකල් වාඩිවෙනවත් එක්කම ඉවරයිම තමා කියලා මට නිකමට වගේ හිතුනා. කෝච්චි පෙට්ටියේ අපි ඇරෙන්න ඔක්කොමලා වගේ හොඳ නින්දේ. හිටගෙන යන කීප දෙනත් සීට් එකට හේත්තු වෙලා නිදි.

"අංකල් කොහෙද මේ යන්නේ"
චාමික කතාව පටං ගත්තා..

"මම ගෙදර යනවා පුතා..නුවරඑළියේ තමා මයේ පවුල ළමයි ඉන්නේ."
අංකල් කැඩිච්ච සිංහලෙන් උත්තර දුන්නා. අංකල්ගෙ සිංහල කතා කිරිල්ල හරි අමුතුයි. 

"අංකල් මොනවැයි කරන්නේ කොලඹ?"
චාමිකත් ගාල්ලේ වචන සැට් එක බස්සන්න ගත්තා ඉතිං.

"මම කඩේක වැඩ කරන්නේ. ශිකුරාදා ගෙදර එනවා. ආයේ ඉරිදා රෑ කෝච්චියේ කොළඹ එනවා"
අංකල් කීවා.

"අංකල් හැමදාම මෙහෙම නිදියනවැයි කෝච්චියේ"
චාමිකත් ප්‍රශ්න පිට ප්‍රශ්න අහනවා

"ඔව්. වාඩිවෙන්න නැත්තම්, ඔන්න ඔහේ සීට් දෙකක් අතරේ තමා බුදියනවා"
අංකල් කීවා...

කොහොම හරි විනාඩි 15ක් විතර යනකොට අපේ චාමිකයි අංකලුයි ඊලඟ දවසේ අඩියක් ගහන්න සෙට් වෙන තරමට ලොවෙත් ෆිට්..

අපේ චාමික කොහොමත් කලාවට බර පොරනේ...
"අංකල් අර සිංහල  සින්දුවක් තියෙන්නේ මම ගන්නෙමී කරකාර බන්දාලා කියලා. එක දෙමළ සිංදුව අංකල් දන්නවාද?"
චාමික ඇහුවා ප්‍රශ්නයක්....

"ශා ශා පුතා.. මගේ කැමතිම සිංදුව තමා ඒක. ඒ කාලේ ඉඳං මට ලශ්ශන ඒක කියන්න පුළුවන්."
අංකල් කීවා.

"මරුනේ අංකල්. මගේ කැමතිම සින්දුවක් ඒක. අපි දෙන්නා කියමුද බලන්න"
චාමික කිවා..

මගේ එහා පැත්තේ හිටිය දිලුමා මට ඇඟිල්ලෙන් ඇන්නා. ඉස්සරහා හිටියා ජේකේ ගේ ඇස් දෙක උඩ ගියා.

වෙලාව පාන්දර දෙකහා මාරට විතර ඇති. කෝච්චි පෙට්ටියම නිදි..
නිදියගෙන හිටි අය උඩ ගිහින් ඇහැරෙන තරම් සද්දෙන් කෝච්චියේ සද්දෙටත් වඩා හයියෙන් අංකල් සින්දුව පටං ගත්තා....

මෙන්න වීඩියෝ එක

චාමික ft ආර් ගෝපාල් සාමි.
(අංකල්ගේ නම ගෝපාල් සාමි)

එක දිගට පැය භාගයක් විතර චාමිකත් අපේ අංකලුත් අත්පුඩි ගහමින් දෙමළ සිංහල සින්දු කියන්න ගත්තා. හිමින් නම් නෙමෙයි මහ සද්දෙන්..
සීට් වල වාඩි වෙලා හිටිය මිනිස්සු වගේම එහා පෙට්ටි වල නිදියං හිටිය උනුත් අපේ එකට ඇවිත් බලන තත්වෙටම තත්වේ දරුණු උනා.
යාන්තම් වැඳලා වගේ කියලා කියලා තමා අපි හතර දෙනා චාමිකගෙත් අංකල්ගෙත් කට වැස්සුවේ...
වටේ පිටේ නිදියං හිටිය මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනේ අනූ නවයයි  නවයේ දශමස්ථාන නවයකින් විතර...

අන්තිමට යාන්තම් නානුඔය ඉස්ටේසම පේන තෙක් මානයට ආවම තමා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ..
"අංකල් බහින්න කලින් තව එක පාරක් අරක කියමුද"
චාමික අංකල්ගෙන් ඇහුවා...

"අඩි යෙන්නඩී රාකම්ම්මා........"
මහ සද්දෙන් ආයේ දෙන්නා සිංදුව පටං ගත්තා...

මේ ට්‍රිප් එක කතා ලෝකයක්... තවත් කතාවක් එක්ක ලස්සන පින්තූර එකතුවක් අරගෙන අනෙක් පෝස්ට් එකෙන් හෙට හම්බ වෙන්නම්.

මේ තියෙන්නේ අපේ ඒ සුන්දර තුන්වෙනි පන්තියේ කෝච්චි පෙට්ටිය..



පලි : මම බලොග්කරණයට අලුත්.ඔයාලගේ කොමෙන්ටුවක් රටක් වටිනවා.....

14 comments:

  1. බොහොම රසවත් මේ ශෛලියට මං කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. හෙට අනිත් කතාව කියන්නම්කෝ...

      Delete
  2. " නමුත් අන්තර්ජාලය හරහා එකතුවෙච්ච එක්තරා කන්ඩායමකගේ නොමනා හැසිරීම් රටාව නිසා අද වෙනකොට නානුඔය-අඹේවෙල-පට්ටිපොල අතර ප්‍රදේශය හයික් වලට තහනම් කලාපයක් බවට පත් කරලා තියෙනවා. "

    මොකක්ද මචන් මේ සීන් එක ? ?අපි යන්න හිතුවොත් කොස්සක් :(

    ReplyDelete
    Replies
    1. නානුඔය ඉඳලා පට්ටිපොලට වෙනකං සෙක්ෂන් එක තහනම් කලාපයක් වෙලා තියෙන්නේ. කෝච්චියෙන් පට්ටිපොල පැත්තට යනකොට අඹේවෙල පාලමේ බලාගන්න පුළුවන් එහෙම කරන්න හේතු වෙච්ච සිද්ධිය.

      Delete
    2. ගිහිං බලන දුරක නෙවෙයි අපි ඉන්නේ. ඉතිං ඒ හින්දා හේතුව කිව්වා නම් ලංකාවට එද්දී ටිකක් සුජානං සරීරෙ කියලා එන්න පුළුවන්.

      Delete
  3. යකෝ මුන්ට අප්පුඩි ගහන්න කියලා දෙන්න එපැයි,
    මූ අප්පුඩි ගහන්නේ රනිල් ලොක්ක ගහන විදිහටනේ

    ReplyDelete
  4. හික්ස් ඔය වගේ මිනිස්සු නිසා ගමන් මහන්සිය ඇරෙනවා සහෝ.

    ReplyDelete
  5. දිගටම කරගෙන පලයන්. එකෙංම අපි ඉන්නවා...!

    ReplyDelete
  6. ජයවේවා. . . ඔහොම යන්

    ReplyDelete
  7. "ගම්පොලට කෝච්චිය එනකොට හරියටම රෑ 12 වෙනවා. ගම්පොල ඔරලෝසු කණුවෙ 12 ඉලක්කම පේනකොට කොච්චිය ඉස්ටෙසමට ඇතුල්වෙන එක නයිට් මේල් එකේ ගිහින් තියෙනවා නම් ඔයාලා දකින් සුලභ දර්ශනයක් වෙනවා නොඅනුමානයි. "

    ඔන්න යකඩ යකා එකට දැම්ම පොටෝ එකක්

    ReplyDelete