Monday, January 28, 2013

ඉරිදා ඉස්කෝලේ...




සෑහෙන දවසකින් මොකක් හරි කොටන්න බැරි උනා. එකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තාත්තා අසනීපෙන් කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ගැනීම. දෙවෙනි එක අපේ ඔෆීසියේ ඩිරෙක්ටර් මහතෙකුට එක පාරට අමු කැවිලා වගේ වෙලා හැමෝගෙන්ම ඉන්ටර්නෙට් බ්ලොක් කිරීම. ඔෆිස් එකේ allow කරලා තියෙන්නේ Gmail විතරයි. අනේ මයේ මොකෝ කියලා මාත් මගේ පාඩුවේ හිටියා. මේ බ්ලොගර් එකට රිංගුවේ Gmail අස්සෙන්. මට ලියන්න පුළුවන් උනාට දැං වෙන කාගෙවත් බ්ලොග් කියවන්න විදියක් නෑ. ටික කාලයක් යනකන් මේ ප්‍රශ්නේ තියේවි. ඒකට ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා.

අද කියන්න යන්නේ තවත් එක් රස කතාවක්. මේකත් ඇත්තම ඇත්ත සිද්ධියක්. මම මගේ බ්ලොග් පෝස්ට් වල ගොඩක් ලියන්නේ අපේ සැට් එකේ අයටම වෙච්ච රසබර සිදුවීම් නේ. මේකත් ඒ වගේ එකක්. හැබැයි මේ සිද්දියට අදාල සාමාජිකයා කවුද කියලා බ්ලොග් එකේ ලියන්න එපැයි කියලා මට ඉල්ලීමක් ආවා. ඒ නිසා මම නම නොලිය ඉන්නම්. අපේ කථා නායකයාට "යාළුවා" කියන නමින් මම කතාව කියාගෙන යන්නම් කෝ.

මේකයි කතාව. අපේ යාළුවා ඇත්තටම සෑහෙන්න ආගමට දහමට බර පුද්ගලයෙක්. කෙටියෙන්ම කියනවා නම් තනිකර පිං කඳක්. දැනටත් පන්සලේ තියෙන බෝධි පූජාවක්වත් අතාරින්නේ නැති එකෙක්. ගමේ පන්සලේ කොයි එකට උනත් එකෙන්ම සහභාගී වෙන ඩයල් එකක්. පිං අතේ වැඩ වලදී වගේම හොර වැඩ වලදී පවා. හොර වැඩ කීවම කස්ටිය වරදවා වටහාගනු එපා.. පිං කැට කඩනවා වගේ එවුවා එහෙම නෙමෙයි. තැඹිලි, කුරුම්බා මිෂන් වලදී වගේ.   කොහොම හරි අපේ යාළුවාගේ මේ පන්සලත් එක්ක තියෙන සබැඳියාව නිසාම දහම් පාසල් අවසාන විභාගෙට එහෙම ලියලා ඉවර උන ගමන්ම වගේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ආරාධනාවක් ලැබුනා දහම් පාසල් ආචාර්යවරයෙක් විදියට ඉරිදා දවස්වලට ඇවිදිල්ලා දහම්පාසලේ උගන්වන්න.

අපේ යාළුවත් ඉතිං එක පයිං වැඩේට කැමති උනා. කැමති වෙලා දැං ඕං ඉතින් දහම් පාසලේ උගන්වන්න යනවා කියමුකෝ.. අපේ යාළුවාට උගන්වන්න හම්බ උනේ දහම් පාසලේ හයේ පන්තිය. හයේ පන්තිය කියන්නේ ඉස්කෝලේ හතේ පන්තියනේ. ඉස්කෝලේ හත වසර කියන්නේ හොඳ ඇම්බැට්ටයෝ ඉන්න පන්ති කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ. තම තමන්ගෙ ඉස්කෝලේ හතේ පන්තිය මතක් කරලා බැලුවානම් තේරේවි කොහොමද ඒ කාලේ කියලා. ඔන්න ඉතිං අපේ යාළුවා හයේ පන්තියේ කොලු කෙලි කාන්ඩෙට දහම් පාසල් අධ්‍යාපනය ලබාදෙන මහා පුන්‍යකර්මයට දායක වෙනවා. 

එක දවසක් වෙනදා වගේ උදේම පන්තියට ආපු අපේ යාළුවා මුලින්ම පටං ගත්තේ රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතයෙන් ඉගෙන ගන්න දරුවන්ට ගන්න පුළුවන් ආදර්ශ ගැන කියලා දෙන්නයි. ඔන්න අපේ යාළුවා රාහුල හාමුදුරුවන්ගෙ චරිතාප්‍රදානය සැකෙවින් පොඩි උංට විස්ථර කරලා ප්‍රශ්න අහන්න ගත්තා.
" හරි. දැං අපේ පොඩි නංගිලා මල්ලිලා කියන්න බලන්න රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතෙන් පුංචි ඔයාලාට ගන්න පුළුවන් ආදර්ශ මොනාද කියලා? "

දැං එක එකා උඩ පැන පැන උත්තර දෙනවා. අපේ යාළුවට දැං ෆුල් කික්. පොඩි එවුවෝ හොඳට පාඩම අහගෙන හිටියා කියලා දැං අපේ එකාට හරි සන්තෝසයි.

පොඩි උන්ගේ කික් එක තව වැඩි කරන්න කියලා හිතාගෙන අපේ යාළුවා තව කතාවක් කියන්න පටං ගත්තා.

"මම කියන්නම් පොඩි කතාවක්."
අපේ යාළුවා කතාව පටං ගත්තා.

"ඔන්න දවසක් උදේ පාන්දර පුංචි රාහුල හාමුදුරුවෝ මිදුල අමදිනවා"
අපේ එකා බොහොම උජාරුවෙන් පංතියේ ඇවිද ඇවිද කතාව කියනවා.

" ඔහොම මිදුල අමදිමින් ඉන්න රාහුල හාමුදුරුවන්ට පේනවා උන් වහන්සේ දිහාවට උඩ බලාගෙන හිනා වෙමින් සෙමින් සක්මනේ යෙදෙන මුගලන් මහ රහතන් වහන්සේ "

"ළමයි දන්නවාද මහ මුගලන් හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා?"
අපේ එකා අහපි..

"ඔව් සර්..
බුදුරජානන් වහන්සේගේ වමත් ශ්‍රාවක.."

කොල්ලෝ උඩ පැන පැන උත්තර දෙනවා. අපේ එකාට දැං බොහෝම සන්තෝසයි තමන් උගන්වපු පන්තියේ බුද්ධි මට්ටම ගැන.

අපේ එකා කතාව කන්ටිනිව් කොරා..
"ඔන්න ඉතිං මුගලන් හාමුදුරුවෝ උඩ බලාගෙන තනියම තමන් වහන්සේ සමඟ හිනා වෙමින් මිදුලේ සක්මන් කරනවා. මේක දැකපු රාහුල පොඩි හාමුදුරුවන්ට හරි ප්‍රශ්නයක්. ඔයාලා දන්නවානේ රාහුල පොඩි හාමුදුරුවෝ හරි කැමතියි කියලා අවවාද අනුසාසනා අරගන්න. ඒක රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිත කතාව පුරාවටම කියවෙන උන් වහන්සේගේ හොඳ පුරුද්දක්"

අපේ එකා කතාව කියවගෙන යනවා... කොල්ලෝ කෙල්ලො කට බලියං කතාව අහගෙන ඉන්නවා ඉතිං.

"මුගලන් හාමුදුරුවන් ගාවට ලං වෙච්ච රාහුල පොඩි හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ගෙන් ඇහුවා කුමන හේතුවක් නිසාද මුගලන් හාමුදුරුවනේ ඔබ වහන්සේ අහස දෙස බලාගෙන සිනාසෙන්නේ කියලා"

"කුඩා රාහුල හාමුදුරුවන් වෙත සිනහවකින් සංග්‍රහ කල මහ මුගලන් හාමුදුරුවෝ මෙහෙම කීවා"

"රාහුල.. ඔබට පේනවාද අර අහසේ පියාඹන රත්තරං පාට සිරුරක් ඇති උකුස්සා.. බලන්න පෙර කල මහා පුන්‍යකර්ම වල බලයෙන් රන්වන් පාට සිරුරක් හිමි වෙලා තිබුනත් බලන්න ඒ පුන්‍යකර්ම සියල්ලකටම වඩා බලවත් වෙච්ච අකුසල කර්මයක් නිසා රත්තරන් සිරුරැති උකුස්සාට අර පස්සෙන් එලව එලවා කොටක කාක් රැල. ඌ කෙතරම් වේදනාවකට පත් වෙනවා ඇතිද. කාක්කන් රංචුව අතහරින පාටක් නෑ. දැන් සෑහෙන වෙලාවක සිටන් මම බලාගෙන. උකුස්සාට උං එකතුවෙලා කොටනවා"

අපේ යාළුවා කතාව කියවගෙන යනවා. ළමයි දැං මීයට පිම්බා වගේ අහගෙන ඉන්නවා.

"ළමයි දන්නවාද මහ මුගලන් හාමුදුරුවෝ බුද්ධ සාසනයේ අග්‍ර තනතුර ලබාගත්තේ කුමක් සඳහාද කියලා?"
අපේ එකාගෙන් තව ප්‍රශ්නයක්.
"ඉර්දි බලය ඇති ස්වාමින්වහන්සේලාගෙන් අග තනතුර"

කොල්ලෙක් පැනපු ගමන් උත්තර දුන්නා..

අපේ එකාට හරි ඉහලයි තමන්ගේ පන්තිය ගැන... ආයේ කතාව පටං ගත්තා

"ඔන්න ඉතිං මහ මුගලන් හාමුදුරුවෝ මෙහෙම කීවා විතරයි රාහුල හාමුදුරුවෝ උඩ බැලුවා රත්තරන් පාට උකුස්සෙක් රාහුල පොඩි හාමුදුරුවෝ කවදාවත් දැකලා තිබුනේ නැති නිසා. රාහුල පොඩි හාමුදුරුවන්ට පෙනුනේ අහසේ පියාසර කරන කාක් රැල විතරයි.. මේක රාහුල හාමුදුරුවන්ට හරි ප්‍රශ්නයක්. රත්තරන් පාට උකුස්සෙක් අහසේ රාහුල හාමුදුරුවන්ට පේන්නේ නෑ. පොරකමින් කෑගහමින් අහස පුරා යන කාක් රංචුව විතරයි රාහුල පොඩි හාමුදුරුවන්ට පෙනෙන්නේ. රාහුල පොඩි හාමුදුරුවෝ මේ ගැන මහ මුගලන් තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කලා...
මහ මුගලන් හාමුදුරුවන්ගේ ඉර්දි බලයේ මහිමයෙන් තමන් වහන්සේට රත්තරන්පාට උකුස්සා පෙනුන බව මහ මුලගන් හාමුදුරුවන් රාහුල පොඩි හාමුදුරුවන්ට ප්‍රකාශ කලා."

බලන්න දරුවනේ මහ මුගලන් හාමුදුරුවන්ගේ ඉර්දි බලයේ මහිමය...

අපේ එකා බොහෝම ශ්‍රද්ධාවෙන් කතාව කියාගෙන යනවා..

"ස්‍ර්... මට ප්‍රශ්නයක් තියෙනවා"
කොල්ලෙක් නැගිට්ටා..

අපේ යාළුවාට දැන් අජරාමර සන්තෝසයි.. කවදාවත් ප්‍රශ්න නාහන පන්තියේ ළමයි අද ප්‍රශ්නත් අහනවා...

"ඔව්.. අහන්න.. මොකද්ද ප්‍රශ්නය?" 

"සර්.. මේකයි මට තේරෙන්නේ නැත්තේ.. අර රත්තරන් පාට උකුස්සා මුගලන් හාමුදුරුවන්ට පෙනුනා නම්.. රාහුල හාමුදුරුවන්ට පෙනුනේ නැත්තම් කාක්කෝ ටිකට පෙනුනේ කොහොමද සර්...?

පාඩම එතනින් අවසන් උනාලු....

ප.ලි. - මේක ගොතපු කතාවක් නම් නෙමෙයි. මේක සත්‍යම සත්‍ය සිදුවීමක්. පස්සේ අපේ යාළුවා පන්සලේ හාමුදුරුවන්ගෙන් ආයේ ඔය ප්‍රශ්නේම ගිහින් ඇහුවාලු...




4 comments:

  1. හොද ලිපියක් යාළුවා.මගේ බ්ලොග් එකටත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  2. හිතන්නත් අමාරුයි සත්‍ය කථාවක් කියලා.

    ReplyDelete
  3. කාක්කෝ කන්නාඩි දාල ඇති.
    බොලේ ෆොන්ට් එක ටිකක් ලොකු කරපංකෝ.

    ReplyDelete