Tuesday, November 6, 2012

වේරහැර RMV එකට ගියාද?



මූලික කරුණු කිහිපයක්


පසුගිය දවසක මම ගියා වේරහැර RMV එකට. මගේ ලයිසන් එකේ වැඩකට. එතනට ගියාම මට තේරුම් ගිය දෙයක් තමයි ගොඩක් මිනිස්සු නොදැනුවත් කම නිසා බොහෝ අපහසුතා වලට පත් වෙනවා. ඒ වෙලාවේ මට හිතුනා මට පුලුවන් තරමින් දැණුවත් කිරීමක් කරා නම් හැමෝටම වැඩක් වෙයි කියන එක. පොඩි දැණුවත් කිරීමක් බ්ලොග් අවකාශයේ මිතුරන් වෙත අරගෙන එන්නම්.  එහෙනම් ඔන්න වේරහැර වැඩ සිද්ධවෙන පිලිවෙල.



මේ පින්තූරේ මම පෝලිමේ ඉන්නකොට ගත්ත එකක්. මේ විස්ථරය ටික කාලෙකට කලින් එලකිරියේ මම පෝස්ට් එකක් විදියට ඉදිරිපත් කලා. ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමා " කවුද බං අර රෝස පාට එකක් ඇඳගෙන ඉන්න කෑල්ල?" මුලින්ම කියන්නම්... උත්තරේ තමා "මම දන්නේ නෑ" කියන එක. ඒ ගෑණු ළමයා ගැන ඇරෙන්න තියෙන ඕන ප්‍රශ්නයක් කොමෙන්ටුවක් විදියට අහන්න. පුළුවන් තරමින් මම උදවු කරන්නම්.   

ඔය තියෙන්නේ වේරහැර RMV එකේ පෝලිම. මුලින්ම පෝලිම ගැන කතා කරමුකෝ. මේ පෝලිමට මිනිස්සු එන්නේ පාන්දර 4 ඉඳලා. මේ පෝලිම සතියේ දවස් 5 ම එකම විදිය. සඳුදාටයි සිකුරාදාටයි පෝලිමේ සෙනඟ වැඩියි. ඒක නිසා මොකක් හරි වැඩකට RMV යනවා නම් ඔය දවස් දෙක අතඇරලා යන එක හොඳයි.

RMV එකට යන හැම කෙනෙක්ම ඇතුල් වෙන්න ඕනා මේ පෝලිමේ ගිහිල්ලා. උදේම ගිහිල්ලා පෝලිමේ ඉස්සරහා තැනක් අල්ලා ගත්තොත් තමගේ වැඩේ ඉක්මනින් කරගෙන එන්න පුලුවන් වෙනවා. මිනිස්සු RMV එකට එන්නේ ඇයි? ඒක ගැන පොඩ්ඩක් බලමු. වේරහැර RMV එකෙන් වෙන වැඩ මොනවාද? නව රියදුරු බලපත්‍ර ලබාදීම, නැති වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, නව වාහන පන්ති පවතින බලපත්‍රයට එකතු කරගැනීම, නොපැහැදිලි බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ රටවල් සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම වගේ දේවල් තමයි මෙතනින් සිද්ධවෙන්නේ. ඒ නිසා විවිධාකාරයේ වැඩ කටයුතු සඳහා මහජනයා මෙතනට පැමිනෙනවා. දැන් තියෙන්නේ අලුත් ලයිසන් එකක්. ඔය පහල රූපෙන් තියෙන්නෙ අලුත් ලයිසන් එක. මේකේ වාහන පන්ති පවා වෙනස්. කාන්තාවන් සඳහා යතුරුපැදි එන්ජින් ධාරිතාව 100 CC වලට වඩා අඩු යනුවෙන් අලුත් පන්තියක් පවා මෙහි තියනවා.

රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතිකය අනිවාර්ය වෙනවා. නව බලපත්‍ර, නව වාහන පන්ති එකතු කිරීම ආදී සියලුම කටයුතු වලදී වෛද්‍ය සහතිකය අනිවාර්යයි. ගොඩක් අය මේක දන්නේ නෑ. ඒ නිසා නිලලත් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් අරගන්න. සෑම කාර්යක් සඳහාම තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා වෛද්‍ය සහතිකය අනිවාර්යයි. මේ කිසිම දේක ඡායාපිටපත් අවශ්‍ය වෙන්නේ නෑ. ගොඩක් අය බොරුවට මුදල් වියදම් කරලා ඡායාපිටපත් ගහගෙන එනවා. පරණ ක්‍රමයට උඩුකය ඡායාරූප අරගෙන එනවා. ඒවා උවමනා වෙන්නේ නෑ. RMV එක ඇතුලෙම ඡායාරූප ගැනීම් සිදුකරනවා. අනිවාර්ය වන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා වෛද්‍ය සහතිකය පමනයි. ඒවා සියල්ලක්ම නැවත අප වෙතම ලබා දෙනවා.

වෛද්‍ය සහතිකය ගැනත් යමක් කියන්න ඕනා. බරවාහන සඳහා එකකුත් සැහැල්ලු වාහන සඳහා එකකුත් වශයෙන් වෛද්‍ය සහතික කොටස් දෙකක් තියනවා. බර වාහන සඳහා වෛද්‍ය සහතිකය ලබා ගන්න ඕනා නුගේගොඩින්. එතනින් ලබා දෙන වෛද්‍ය සහතිකයේ අදාල පුද්ගලයාගේ ඡායාරූපයක් ඇලවිය යුතුයුයි. සමහරු මේ ඡායාරූපය නැතුව එනවා. ඒක නිසා මතක තියා ගන්න බර වාහන වෛද්‍ය සහතිකයේ ඡායාරූපයක් අලවාගෙන එන්න. ඡායාරූප ගැනීම RMV එක ඉස්සරහින් උනත් කරගන්නට පුලුවන්. නමුත් මේ ඡායාරූප ශාලා විවෘත වෙන්නේ උදේ 7ට පමන. උදේ 7 වෙනකොට පෝලිමේ සෑහෙන ප්‍රමානයක් පිරිලා. ඒ නිසා ඒ පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සැහැල්ලු වාහන සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනීමට නම් ඕනෑ තරම් ස්ථාන වේරහැර තියෙනවා. රුපියල් 500ක් මේ සඳහා අයකරනවා. සාමන්‍යෙන් උදෑසන 6:30 පමන වෙනකොට මේ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘතයි. මේ වෛද්‍ය සහතිකය ලබා ගැනීමට වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒ නිසා උදේ පෝලිමට පැමින එහි රැදී සිට ඔබ දෙපස සිටිනා අයට වෛද්‍ය සහතිකය ගැනීමට යැයි පවසා වෛද්‍ය සහතිකයක් ලබාගෙන එන එක තමා හොඳම දේ. ඒ වගේම RMV එක ඇතුලෙත් වෛද්‍ය සහතික දිනකට 50ක් නිකුත් කෙරෙනවා. ඒතනින් වෛද්‍යසහතික ලබාගැනීමට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි පිටින් වෛද්‍ය සහතිකයක් රැගෙන ඒම.

තව දෙයක් කියන්න ඕනා. කාක්කෝ ගැන අහලා ඇති. පිහාටු නැති කාක්කෝ ඕන තරම් වේරහැර ඉන්නවා. ගොඩක් වෙලාවට පෝලිමේ ඉස්සරහට දාලා දෙන්නම් කියමින් මුදල් ඉල්ලන කාක්කෝ සුලබ දසුනක්. මොවුන්ට නම් අහු වෙන්න එපා. මොවුන් නිසා පෝලිමේ මිනිස්සු අතර බොහෝ රන්ඩු සරුවල් ඇති වෙනවා.

උදේ 7:45 වගේ වෙනකොට RMV එකේ ගේට්ටු අරිනවා. පෝලිම ඇතුලට ගන්න. හැමෝම පෝලිමේ ඇතුලට යන්න ඕනා. ඇතුලට ගත්තාට පස්සේ ආරක්ෂක නිලධාරීන් මගින් සුලු දැනුවත් කිරීමකට ලක් වෙනවා. ඉන් පසු අදාල සේවා සඳහා අදාල පෝලිම් වලට මහජනයා යොමු කෙරෙනවා.

වෛද්‍ය සහතික සඳහා එක පෝලිමකුත්, ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂන සඳහා එක පිරිසකුත්, අනෙක් වැඩ කටයුතු සඳහා එක පෝලිමකුත් වශයෙන් පිරිස පෙලගස්වනවා. මින් දිගම පෝලිම ප්‍රධාන ශාලාවට පෙලගස්වා තියෙන පෝලිමයි. නව රියදුරු බලපත්‍ර සඳහා අයදුම් කිරීම, නැති වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍ර ලබාගැනීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, නව වාහන පන්ති පවතින බලපත්‍රයට එකතු කරගැනීම, නොපැහැදිලි බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ රටවල් සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම ආදී දේවල් සඳනා පැමිනි අය තමයි මේ පෝලිමේ ඉන්නේ. තමන් ලබා ගැනීමට පැමිනි සේවාවට අදාල ලියකියවිලි ඉදිරිපස කවුන්ටරය වෙත ඉදිරිපත් කර ඔබට ටෝකන් පතක් ලබා ගන්නට පුලුවන්. පැරණි රියදුරු බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවක් වේරහැර ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා නිකුත් කරන්නේ දිනකට ටෝකන් 200ක් පමනයි. අනෙක් සාමන්‍ය සේවා සඳහා ටෝකන් 900ක් නිකුත් කෙරෙනවා. ටෝකන් ලබා ගැනීමෙන් පසු තමන්ගේ වාරය එනතෙක් රැදීසිටිය යුතුයි.



එක වරකට ටෝකන් අංක 30 බැගින් ඇතුලට ගන්නවා. ඒ රියදුරු බලපත් අංශය වෙත. ඒ තුල තමයි ඔබේ ඡායාරූප ගැනීම්, ඇඟිලි සලකුණු, අත්සන් ආදිය ගැනීම සිදු වෙන්නේ. ඒ අංශය තුල ඔබට කවුන්ටර 3කට පමන යාමට සිදු වෙනවා. ඒ ඔබේ පැරණි බලපත්‍රයේ වාහන පන්ති නව වාහන පන්ති වලට හරවා ගැනීම, ලියකියවිලි ස්කෑන් කිරීම ආදී දේවල් සඳහා. නමුත් වැඩ බොහෝම කාර්යක්ෂමයි. ඔබට ලබා දෙන්නේ මුද්‍රිත අයදුම් පතක්. ඉස්සර වගේ මාගලක් විතර දිග ෆෝම් පුරවන්න දැන් නෑ. නම, ලිපිනය වගේ සරල තොරතුරු කිහිපයක් අහලා තියෙන, ඉතුරු කරුණු සියල්ලක්ම මුද්‍රිත අයදුම්පතක් තමයි ඔබට ලබා දෙන්නේ. ඉක්මනින් ඔබේ වැඩ කටයුත්ත සිදු වෙනවා. අවාසානයේ මුදල් ගෙවීම් සිදු කරන කවුන්ටර් වලින් තමයි තාවකාලික බලපත්‍ර හා ඔබ පැමිනියේ නව බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට නම් ඔබේ ලිඛිත පරීක්ෂනය සඳහා නියමිත දින බලා දෙන්නේ. ඔබට අවශ්‍ය දිනයක් ඉඩකඩ තියෙන අයුරින් වෙන් කර ගැනීමට ඔබට පුලුවන්. නැතිවූ බලපත්‍රයක් එක්දින සේවය මගින් ලබා ගැනීමට රුපියල් 2200ක මුදලක්ද සාමාන්‍ය ක්‍රමයට ලබා ගැනීමට 1700ක් ද, නව පන්තියක් එකතු කරගැනීමට 1850 සිට ඉහලටද ( L පුවරුද ඇතුලුව) ගාස්තු අයකෙරෙනවා.

ඔබ පැමිනියේ ඔබ සතු රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් එක් කරගැනීමට නම් මුදල් ගෙවීමෙන් පසුව ප්‍රධාන ශාලාව පිටිපස ඇති 19 වෙනි කාමරය වෙත යා යුතුයි. ඉස්සර වගේ නැවත ලිඛිත පරීක්ෂනය පෙනී සිටින්න උවමනා වෙන්නේ නෑ. 19 කාමරයේ කවුන්ටරයෙන් ඔබේ ප්‍රායෝගික පරීක්ෂනය සඳහා දිනයක් හා "L" පුවරු ලබාගන්නට පුලුවන්.

එක්දින සේවය ගැන කියනවා නම්, ඔබ අයදුම්පත්‍රය බාර දී පැය 3 1/2 ක් වගේ කාලයක් තුලදී ඔබට නව මුද්‍රිත බලපත්‍රය ලබා ගන්නට පුලුවන්.






ප්‍රායෝගික පරීක්ෂනය





මම උඩ කියලා තියෙන විදියට නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ඔබ පැමිනියා නම් අයදුම්පත බාරදීලා අදාල දිනයට පැමින ලිඛිත පරීක්ෂණයට පෙනී සිටියාට පස්සේ ප්‍රායෝගික පරීක්ෂනයට පෙනීසිටින්න දිනයක් ලැබෙනවා. ප්‍රායෝගික පරීක්ෂනයට කන්ඩායම් දෙකක් විදියට තමයි මූලික වශයෙන් වේලාව ලබා දෙන්නේ. උදේ 9ට එක් කන්ඩායමකුත් හවස 1ට අනෙක් කන්ඩායමත් වශයෙනුයි. අඩුම තරමේ ප්‍රායෝගික පරීක්ෂනයට පැයකටවත් කලින් එම ස්ථානයට යා යුතුයි. ප්‍රායෝගික පරීක්ෂනයට පෙර වැඩ කටයුතු කිහිපයක් තියෙනවා නිම කරගන්නට.

මුලින්ම ප්‍රායෝගික පරීක්ෂනය සඳහා වාහනයක් තෝරාගත යුතු වෙනවා. තමන්ට අදාල කාන්ඩයට අනුකූල වෙන ලෙස වාහනයක් අයදුම්කරුට තිබිය යුතුයි. විශේෂයෙන්ම යතුරු පැදි අයදුම්කරුවන් මේ පිළිබඳ දැනුවත් විය යුතු වෙනවා. යතුරුපැදි කාන්ඩ දෙකක් යටතේ තමයි නව ක්‍රමය යටතේ කාන්ඩ කර තිබෙන්නේ. 100CC (A1) වලට අඩු හා 100CC (A) වලට වැඩි ලෙස. සමහර අයදුම්කරුවන් තමන්ගේ පුද්ගලික බයිසිකල් වලින් ප්‍රායෝගික පරීක්ෂනය වෙත පැමිනෙනවා. මෙහිදී ගොඩාක් අය 100CC එන්ජින් පන්තියට අයත් මෝටර් සයිකලයකින් 100CC (A) බලපත්‍රයක් ලබා ගැනීමට පැමිනෙනවා. 100CC වලට වැඩි යන්නෙහි තේරුම අපි නිවැරදිව සිහි තබා ගත යුතුයි. 100CC සයිකලයකින් 100CC වලට වැඩි කාන්ඩයේ (A) බලපත්‍රයක් ලබා ගැනීමට බෑ. තමන් ප්‍රායෝගික පරීක්ෂනයට ඉදිරිපත් වෙන බයිසිකලය අනිවාක්යෙන්ම 100CC වලට වැඩි එක් විය යුතුමයි. ඔබත් තමන්ගේ පුද්ගලික වාහනයකින් ප්‍රායෝගික පරීක්ෂනයට පෙනේ සිටිනවා නම් මේ පිළිබඳ පොඩ්ඩක් සිහි තබා ගත යුතු වෙනවා.
ඒ වගේම තව යමක් කිව යුතියි. කුමන වාහන පන්තියක හෝ ප්‍රායෝගික පරීක්ෂනයට පෙනීසිටිනවා නම්, තමන් භාවිතා කරන්නේ තමන්ගේ පුද්ගලික වාහනයක් නම් වාහනයට එක්දින රක්ෂනයක් ලබාගත යුතු වෙනවා. මේ සඳහා දෙපාර්ථමේන්තුව තුලම අයදුම්කරුවන්ට පහසුකම් සලකා තිබෙනවා. තමන්ගේ වාහනයේ වටිනාකම අනුව එක්දින රක්ෂනයේ ගාස්තුව වෙනස් වෙනවා. මේ ආකාරයට එක්දින රක්ෂනයක් ලබා ගත යුතු වන්නේ තමන්ගේ වාහනයකින් ප්‍රායෝගික පරීක්ෂනයට පෙනී සිටිනවා නම් පමනයි. මේ පිළිබඳ හොඳින් සිහි තබා ගන්න. 

නමුත් මගේ උපදේශය නම් රියදුරු පුහුනු ආයතනයකට මුදල් ගෙවා තමන්ට අදාල වාහනය හෝ වාහන කිහිපය ලබා ගන්න ලෙසටයි. රියදුරු පුහුනූ ආයතනවල වාහන ඕනෑ තරම් වේරහැර දෙපාර්තමේන්තුව අසලින් ලබා ගන්නට පුළුවන්. ඔවුන්ගෙන් වාහනයක් ඔබ ලබා ගත්තා නම් එක්දුන රක්ෂනය ඔබ විසින් ලබා ගත යුතු වෙන්නේ නෑ. ඔවුන් ඒ සියල්ලක්ම සම්පූර්ණ කල වාහනයක් තමයි ඔබට ලබා දෙන්නේ. ඒ වගේම අවශ්‍ය මාර්ගෝපදේශනයත් ඔවුන් ලබා දෙනවා. ඒ නිසා රියදුරු පුහුණු ආයතනයකින් අදාල වාහනය ලබා ගැනීම තමා නුවණට හුරු ක්‍රියාව.

මේ විදියට රියදුරු පුහුණු ආයතනයට මුදල් ගෙවා වාහනය හෝ වාහන වෙන් කල පසු ඒ ආයතනය මගින් ඔබට වාහනේ විස්ථර අඩංගු පත්‍රිකාවක් ලබා දෙනවා.

ඔබට ප්‍රායෝගික පරීක්ෂනයට දින වෙන්කල අවස්ථාවේ ඔබට ප්‍රායෝගික පරීක්ෂනයේ පරීක්ෂක මහතා වෙත ලබා දීමට ලියකියවිල්ලක් ලබා දෙනවා. ගොඩාක් අය මේ පත්‍රිකාව කුමක්ද කියා හරි හැටි දන්නේ නෑ. මේ පත්‍රිකාවේ තමයි පරීක්ෂක මහතා ඔබගේ පරීක්ෂනයේ විස්ථර සටහන් කරන්නේ. මේ පත්‍රිකාවත් සමඟ ඔබ වාහනය වෙන්කල අවස්ථාවේ ලබා දුන් ලියවිල්ල එකට අමුනා ඔබ අතේ ලබා ගත යුතු වෙනවා.

මේ ලියවිලි දෙකත් සමඟ ඔබ යායුතුයි කාර්මික අංශය වෙත. කාර්මික අංශය කියලා එම ශාලාවට නම ලබා දීලා තිබුනාට එම ස්ථානයට තමයි පරීක්ෂක මහත්වරු පැමින ප්‍රායෝගික පරීක්ෂනය සඳහා ඔබගේ නම් කතා කරන්නේ.

එම ස්ථානයේ පසෙකින් තියෙනවා කවුන්ටර කිහිපයක්. එම කවුන්ටර වලින් එක් කවුන්ටරයකට ඔබට මාස කිහිපයකට පෙර බලා දුන් L පුවරු භාර දිය යුතුයි. L පුවරු භාර දීම සඳහා L පුවරු දෙකත් තමන්ට ලබා දුන් පුහුණු වේමේ බලපත්‍රයත් ඉදිරිපත් කල යුතුයි. L පුවරු ලබා දුන් පසු පුහුණු වීමේ බල පත්‍රයෙත් පරීක්ෂක මහතා වෙත ඉදිරිපත් කිරීමට ඇති මම මුලින් සඳහන් කල ලියවිල්ලේත් රබර් මුද්‍රාව ලබා ගත යුතුයි. ඒ වගේම තමන්ගේ ඇඟිලි සලකුනුත් ඒ ස්ථානයට ලබා දිය යුතුයි. ඇඟිලි සලකුණු ලබා දීම අනිවාර්යෙන්ම සිදුකිරීමට වග බලා ගන්න. ඇඟිලි සලකුණු ලැබුණු බවට තවත් රබර් මුද්‍රාවක් පරීක්ෂක මහතාට ඉදිරිපත් කිරීමට ඇති පත්‍රිකාවේ තබනවා.

ඒ සියල්ල සිදු කරගත් පසූ පරීක්ෂක් මහතා පැමින තමන්ගේ නම කතා කරන තුරු ශාලාවේ රැදී සිටිය යුතුයි. පරීක්ෂක මහතුන් කිහිප පොලක් එකම අවස්ථාවේ නම් කතා කරන නිසා හොඳ විමසිල්ලෙන් ඇහුම්කම් දීගෙන සිටීම වැදගත්.
තමන්ගේ නම කියවුනු පසු එම නම කියවූ පරීක්ෂක මහතා වෙත පෑනකුත්, තමන්ගේ ජාතික හැඳුනුම්පතත් රැගෙන යා යුතු වෙනවා. පරීක්ෂක මහතා ජාතික හැදූනුම්පත පරික්ෂාකිරීමෙන් අනතුරුව ඔබ විසින් අත්සන් තැබීම සිදි කලයුතුයි. ඉන්පසු ප්‍රායෝගික පරීක්ෂනය සිදුකරන ස්ථානයට ගොස් අදාල පරීක්ෂක මහතා පැමිනෙන තුරු බලා සිටිය යුතුයි.

මුලින්ම පරීක්ෂක මහතා මෝටර් සයිකල් අයදුම්කරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂනයි සිදු කරන්නේ. ( 8 ගැසීම) 8 ගැසීමෙන් සමත්වෙන යතුරුපැදු අයදුම්කරුවන් පමනක් වාහන හා ත්‍රීරෝද රථ පසුපසින් මහ මඟ ගමන් කල යුතුයි.

තමන් සාර්ථක ලෙස ප්‍රායෝගික පරීක්ෂනය අවසන් කලේ නම් පරීක්ෂක මහතාගෙන් ප්‍රතිඵල සටහල ලබා ගත යුතුයි. මේ සඳහා නැවතත් ඔබ මුලින් රැදී සිටි ශාලාව වෙත යා යුතුයි. පරික්ෂක මහතා සියලුම ප්‍රායෝගික පරීක්ෂන අවසන් කර පැමින පරිගනක මුද්‍රිත ප්‍රථිපල සටහනක් රබර් මුද්‍රාව සහිතව ලබා දෙනවා. මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඔබ උදේ වරුවේ ප්‍රායෝගික පරීක්ෂනයට පෙනී සිටි අයෙක් නම් දහවල් 1-2 වගේ වෙනකොට ප්‍රථිපල සටහන ලබා ගත හැකියි. හවස් වරුවේ පෙනී සිටි අයෙක් නම් හවස 5 වගේ වෙනවා.

තව යමක් මතක් කල යුතුයි. මේ ප්‍රථිපල සටහන නිල වශයෙන් තාවකාලික රියපැදවීමේ බලපත්‍රයක් ලෙස භාවිතා කල නොහැකියි.


පොඩි දැණුවත් කිරීමක් කරන්ටයි උත්සහ කලේ. සාර්ථක උනා කියලා හිතනවා.

15 comments:

  1. කාටත් වටින කාලීන ලිපියක්. මෙවන් දෙයක් දුන්නට තුති.

    ReplyDelete
  2. කාටත් වටින කාලීන ලිපියක්

    ReplyDelete
  3. කාටත් වටින කාලීන ලිපියක්

    ReplyDelete
  4. හොඳ ලිපියක් ඒ වගේම මට වැදගත් වෙයි කියලා මම හිතනවා.නිවාඩු පාඩුවේ ආයේ කියවන්න ඕන.

    ReplyDelete
  5. තොරතුරු ටිකනම් ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ලොවෙත් තෑන්ක්ස් කිව්වා!

      Delete
    2. ගොඩක් වටිනා ලිපිපෙලක්. ස්ස්තුති

      Delete
  6. One deyak wenuwen 1919 amathanna. awashya thorathuru labagatha haki rajya thorathuru kendrayai e

    ReplyDelete
  7. 1919 - rajya thorathuru kendraya amatha wadi wistharada laba gatha hakiya. eya me sandaha pamanak nowe, sama rajya ayathanayakatama yamata pera danuwath weema sandaha wadagath we.

    ReplyDelete
  8. සැහෙන්න වටින තොරතුරු ටිකක් :)

    ReplyDelete
  9. අඩෝ පට්ට මචන්...
    ~inranasingha~

    ReplyDelete
  10. තවමත් මෙ විදිහට රියදුරු බලපත්ත්‍රයක් ගන්නට පුළුවන්ද රියදුරු පාසැලකට යනනේ නැතුව මචං

    ReplyDelete