Wednesday, November 28, 2012

මාතලන්ට, අභීතට, කෝරලේ මහත්තයාට උත්තරයක්....

පහුගිය සති කීපයේම හිර ගෙදර ජීවිතේ ගැන බ්ලොග් අවකාශයේ ලිපි කීපයක්ම පලවුනා.  අපේ මාතලන් ලීව මොත්තෙට කෙල වීම, කෝරලේ මහත්තයා ලීව හිරකාරයෝ පස්සෙන් ගන්න වැඩ, වගේම අභියා ලීව රිමාන්ඩ් භාරයට පත් වෙන ඔබට උපදෙස්.... , මෙන්න කතාවේ විසිල් සමඟ බල්ටි.. රිමාන්ඩ් එකට පිවිසෙන හැටි... පෝස්ට් දෙකත් පසුගිය සති කීපයේ බ්ලොග් අවකාශයේ බොහෝම ජනප්‍රිය වෙච්ච පෝස්ට් බවට පත් උනා. ඒ නිසා තමා මටත් හිතුනේ ඒ පෝස්ට් වලින් නොකියවුනු කරුණු කීපයක් බ්ලොග් පෝස්ට් එකක් විදියට අරගෙන එන්න. මේ සියලූ කරුණු අන්තර්ජාලය ඇසුරෙන් සොයාගත්ත එවා. ඔන්න එහෙනම් හිර ගෙදර නොදුටු පැති.



හිරි ගෙදර, සිපිරිගෙය, මහ උළුගෙදර ලෙසින් හඳුන්වන මේ ස්ථානය පවතින්නේ අවට ලෝකයෙන් බොහෝ දුරස්ථවය. විශාල කොටු පවුරකින් වට වුණු මේ බන්ධනාගාර තුළ නිල ඇඳුම් වර්ග කිහිපයක් හැඳගත් පිරිස් වෙසෙති

ඇඳුම් විලාසිතා

කාකිපාට දිග කලිසමත්, කමිසයත් හැඳ සිටින්නේ බන්ධනාගාර නිලධාරීහු ය. සුදු පැහැ ජම්පරය හැඳ සිටින්නේ අච්චු ලැබූ එනම් දඬුවම් විඳින සිරකරුවන් ය. ජම්පරය යනු දණහිස ළඟට දික් වූ කලිසමක් හෝ සායක් නොවන ඒ දෙකෙහිම සම්මිශ්‍රණයකි. එවැනි ඇඳුම් විලාසිතාවක් මීට වසර දෙක තුනකට ඉහත දී කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය තිබිණි.

සිරකරුවන් අද මේ නියම ජම්පරය අඳින්නේ නැත. සුදු කොට කලිසමත්. අත් කොටට දැමූ කුර්තා කර යෙදූ සුදු කමිසයත් නූතන සිරකරුවන්ගේ නිල ඇඳුම බවට පත් ව ඇත. තමන්ට කැමැති පරිදි මේ ඇඳුම් මස්සවා ගැනීමට සිරකරුවන්ට හැකි වී ඇත.දැන් නියම ජම්පරය හැඳි සිරකරුවකු දැකිය හැක්කේ ඉතාම කලාතුරකිනි.

සුදු රෙද්දේ නිල් පැහැ අල්ලි යෙදූ කම්බිලිය, එනම් රෙද්ද සහ අත්කොටට දැමූ කුර්තා කර යෙදූ කමිසය හැඳි සිරකරුවන් ඔබ කිසි දිනෙක දැක තිබෙනවා ද ? ඒ නිල ඇඳුම ලැබෙන්නේ එල්ලුම් ගසට නියම වූ සිරකරුවන්ට ය.


මරණ දඬුවම නියම වූවන් 

සිර ගෙවල්වල වැඩිම පහසුකම් සපයා තිබෙන්නේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් වෙනුවෙනි. මේ ගණයේ සිරකරුවන් සංඛ්‍යාව අඩු ය. එසේම ඔවුන් රඳවා තබන්නේ දැඩි ආරක්ෂක විධි විධාන සහිත සිරකුටි තුළ ය. එම සිරකුටි තිබෙන ශාලාවද යකඩ දොරවල් යොදා විශාල ඉබි යතුරු දමා ආරක්ෂා කර ඇත.

ඔවුන්ගේ පාවිච්චිය සඳහා වෙනමම වැසිකිළි සංකීර්ණයක් සාදා ඇත. එබැවින් වැඩි තදබදයක් නොමැතිව ඔවුහු සිය ශරීර කෘත්‍යයන් ඉටු කර ගනිති.

ස්නානය කිරීම සඳහාත්, ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කර ගැනීම සඳහාත් ඔවුන්ට වෙනමම වතුර ටැංකි ඇත. එබැවින් බාධාවලින් තොරව පිරිසුදු වීමේ අවස්ථාව ද උදා වී තිබේ. සමහර සිරකරුවන් දිනපතාම ස්නානය කොට දිනපතාම ඇඳුම් මාරු කොට ඉතාම පිරිසුදුවට සිරකුටියේ කල් ගෙවයි. එමෙන්ම මරණ දඬුවම නියම වූ සිරකරුවන්ට කළ යුතු කිසිම කාර්යයක් නැත. ඔවුන්ට ඇත්තේ ඔවුන්ගේ භාෂාවෙන් කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම පමණි. අඩුම තරමින් ඔවුන්ගේ වැසිකිළිවත් ඔවුන් පිරිසුදු කළ යුතු නැත. ඒ සඳහා බරපතළ වැඩසහිතව සිරගත වූවන් යොදවා ඇත.

මරණ දඬුවම නියම වු සිරකරුවන් එළිමහනට ගන්නේ ව්‍යායාම සඳහා පමණි. ඒ දිනකට පැය 1 / 2ක් හෝ පැයක කාලයකි. මේ කාලය ද සිරකුටියටම වී කල්පනාවේ නිමග්නව සිටීමට සමහර සිරකරුවෝ පුරුදුව සිටිති.


දින චර්යාව

බන්ධනාගාර ගතව සිටින සියලුම වර්ගයේ සිරකරුවන් උදේ පාන්දර 5.30ට නින්දෙන් අවදි විය යුතු ය. ඒ අවදි වීම සඳහා නාද කරන සීනුව වදින වේලාව ය. ආදි කාලයේ මේ සීනුව නාද වූයේ පාන්දර 4.00 ට ය. මෑත කාලයේ නිලධාරීන්ගේ අලස බව හේතුවෙන් වේලාව වෙනස් කර ඇත.

5.30 ට පිබිදුනත් කූඩු විවෘත කරන්නේ උදේ 6.30ට පමණ ය. 5.30ට පිබිදුණ සිරකරුවන් ශාරීරික කෘත්‍යය කිරීම සඳහා එළියට බැසීමට පැයක් බලා ගෙන සිටිය යුතු වේ. 6.30 ට කූඩු විවෘත කරන විට උදේ ආහාරයද එම වාට්ටුවට ගෙනැත් තිබේ. (එක් එක් වර්ගවල සිරකරුවන් රඳවා සිටින කොටස් වාට්ටු ලෙස හඳුන්වයි.

දිනපතාම ලැබෙන පොල් සම්බෝල සමඟ පාන්ද, කහට කෝප්පය ද ලබා ගැනීමට මොවුහු පෝලිම් ගැසෙති. කූඩුව විවර කළ සැනින් වැසිකිළියට දිව ගිය සිරකරුවන් පැමිණෙන තුරු ආහාර සපයන්නෝ බලා සිටිති. වැඩියෙන් පමා වුවහොත් ආහාරය සමඟ බැනුම් ද ලැබේ.

සිර දඬුවම් විඳීන සිරකරුවන්ට වැඩ වැඩිය. හිර ගෙදර සියලුම කාර්යයන් කළ යුත්තේ ඔවුන් ය. එනම් මුළුතැන්ගෙයි ආහාර පිසීම, ඒවා බෙදා හැරීම, හිර ගෙදර අතුගා පිරිසුදු කොට මල් පැළවලට වතුර දමා වැසිකිළි සෝදා පිරිසුදු කිරීම ආදියයි.මේ කාර්යයන් සඳහා යොදවා ඇති සිරකරුවන් උදෑසන පිබිදුණ වහාම රාජකාරී ආරම්භ කළ යුතු ය.


පාටි වර්ග

මුළුතැන් ගෙයි උයන පිහන කටයුතුවල යෙදෙන්නේ කුස්සි පාටියේ සාමාජිකයන් ය. හිරගෙදර එක් එක් කාර්යය සඳහා යොදවා ඇති කණ්ඩායම් හඳුන්වන්නේ පාටි ලෙස ය. වතු සුද්ධ පවිත්‍ර කිරීමේ පාටිය මල් පාටියයි. වඩු වැඩ කරන්නේ වඩු පාටියේ සාමාජිකයන් වන අතර සිරකරුවන්ට අවශ්‍ය ඇඳුම් මසන්නේ ටේලර් පාටියයි.

කොසු ඉදල් සෑදීමට පිරිසක් යොදවා ඇත. ඒ කොසු පාටියයි. හිර ගෙදර දී වැරැදි කර හසුවන්නන් හා බරපතළ වැඩ සහිත සිරකරුවන් මේ කොසු පාටියේ ලෙලි තැලීම සඳහා යොදවයි.


අමුතුම භාෂාවක්

සිර ගෙදර ඇත්තේ අමුතුම භාෂා ක්‍රමයකි. ඒ සමහර වචන ඔබට මට කිසිසේත්ම තේරුම් ගත නොහැකි ය.

“ඌ .. මාව කරත්තේ නැංගුවා” කරත්තේ නැංගුවා යනු කුමක්ද ? හිරේ දී කිසිම දෙයකට සම්බන්ධ නොවී පාඩුවේ සිටි අයකු මහා අපරාධයක් සැලැසුම් කරන බවට කතාවක් ගොතා නිලධාරීන්ට පැමිණිලි කොට අර පුද්ගලයා කරදරයට පත් කිරීම “කරත්තයේ නැංගුවා” ලෙස හඳුන්වයි.

විශාල අපරාධවලට සම්බන්ධ බොහෝ විට පාතාල කල්ලි සාමාජිකයන් සිර ගෙදර කල් ගෙවන්නේ ද බොහෝ බියෙන් හා සැකයෙනි. මෙවැනි පුද්ගලයන් අනිත් සෑම සිරකරුවකු දෙසම බලන්නේ තමන්ට පහර දෙන්න - මරා දමන්න කාගෙන් හෝ කොන්ත්‍රාත් ගත්තවුන් ලෙසට ය. ඒ ඔවුන් එළියේ දී කළ දේ ය.

මෙසේ දිගින් දිගටම සිතා දැඩි මානසික අසහනයට පත්වන ඔවුහු කවුරුන් හෝ අහිංසකයකු කරත්තයට නැංවීමට කටයුතු කරති. මෙවැනි සිදුවීම් බහුල නිසාත් පාලක පක්ෂය ද ඒ ගැන හොඳින් දැන සිටින නිසාත් අහිංසකයාට එතරම් හානියක් සිදුවන්නේ නැත.

අනුන්ගේ දේ සොයමින් ඒවා රස කර අසා සිටීම කරත්ත ගැනීම ලෙස හඳුන්වයි. සොයාගත් ඕප දූප බෙදා හැරීම “කරත්ත බෙදනවා” ලෙසින් හඳුන්වයි.

“උදේට පෝලිමේ ගිහින් පාන් කැපුවා. පොල් සම්බෝල කැපුවා. තේ කැපුවා, දවල්ට පෝලිමේ ගිහින් බත් කැපුවා. එළවළු කැපුවා. මාළු කැපුවා, රෑට මස් කන්නේ නැති අය පරිප්පු කපනවා”

ඔබට සිතා ගන්න පුළුවන් ද මේ කියන්නේ මොනව ද කියා. හිර ගෙදර බත් බෙදන්නේ හෝ ගන්නේ නැත. එය හඳුන්වන්නේ ‘කපනවා’ ලෙසිනි. ‘බත් කැපුවා’ යනු බත් ගත්තා යන්නයි. මස් කැපුවා යනු මස් ගත්තා යන්නයි.

හිර ගෙදර මහා කොටු පවුරකින් වට වුණු වෙනමම ලෝකයක් වැනි ස්ථානයක් වුවත් පිරිමි සිරකරුවන්ට එහි නොමැත්තේ කාන්තාවන් පමණි. මුදල් වියදම් කළ හැකි නම් සිර ගෙදර දී ඕනෑම දෙයක් ලබා ගත හැකිය.


මුදල් ලැබෙන ක්‍රම

සිරකරුවන්ට මුදල් ලැබෙන්නේ කෙසේ ද ? ක්‍රම කිහිපයකින් ඔවුහු මුදල් ලබා ගනිති. සමහර බන්ධනාගාර නියාමකවරු කාලයක් තිසසේ සිරකරුවන්ට මුදල් ලබා දීමේ යෙදී සිටිති. ඔවුන් තමන්ගේ ළඟම ඥාතියෙකුගේ බැංකු ගිණුම් අංකයක් මේ සිරකරුවන්ට ලබා දේ. සිරකරුවන් ඒ අංකය දුරකතනයෙන් සිය ළඟම ඥාතීන්ට ලබා දේ. ඔවුන් මේ ගිණුමට මුදල් බැර කරයි. 20%ක් හෝ ඊට වැඩි කොමිස් මුදලක් ඉතිරිකරගෙන අනෙක් මුදල සිරකරුවාට ලබා දේ.

සිරකරුවන් තවත් ක්‍රමවලට මුදල් ගෙන්වා ගනී. ඔවුන් බැලීමට පැමිණෙන ඥාතීන් කෑම වර්ග ද කදමලු බැඳගෙන එන්නට අමතක කරන්නේ නැත. මස් වර්ග වෙනමම කුඩා ෂොපින් උරවල බහා ගෙන ඒ. මුදල් ලැබෙන්නේ මේ මස් මල්ලෙනි. එනම් නෝට්ටු කුඩා වෙන්නට නමා පොලිතීන් උරයක බහා හොදි කාන්දු නොවන ලෙස ගැට ගසයි. ඉන් පසු එය සාමාන්‍ය තරම් පුළුන් බෝලයක් තුළට දමා හොඳින් ගුලි කර මස් එක තුළට දමයි. හොදිවලින් තෙත් වන පුළුන් කැබැල්ල පෙනෙන්නේ ද මස් කැබැල්ලක් ලෙසිනි. කරදරයක් නැතිව සිරකරු අතට මුදල් යයි.

සිරකරුවන් හා ඥාතීන් හමු වන්නේ දැල් කිහිපයකින් ආවරණය වූ වැටක් දෙපැත්තේ සිට ය. කාලයක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් බන්ධනාගාර නියාමකවරුන් සිටින ස්ථානයට වඩාත් ඈත කොනෙන් දැලේ සිදුරු සාදා ඇත. මුදල් නෝට්ටු සිහින්ව රෝල් කර මේ සිදුරුවලින් සිරකරුවන්ට ලබා දේ’

මත් කුඩු ද මේ ආකාරයෙන් මස්, මාළු පාර්සල් හරහා සිරකරුවන්ට ලැබේ. බන්ධනාගාර නියාමකවරුන් ද සිරකරුවන්ට මත්කුඩු ලබා දීමේ කාර්යයේ නිරතව සිටිති. ඒ විශාල ලෙස මුදල් උපයා ගත හැකි නිසා ය.

ඊට අමතරව උසාවි ගෙන යන සිරකරුවන් ඉතාම සූක්ෂම ලෙස මත්කුඩු සිරගෙය තුළට ගෙන ඒමට පුරුදුව සිටී. එනම් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු වැසිකිළියට යාමට අවශ්‍ය බව නියාමකරවැන්ට දන්වා වැසිකිළියට යයි. එහි දී ඔවුන්ට සුරක්ෂිතව සකස් කළ හෙරොයින් ලැබේ. එය ගුද මාර්ගය තුළට ඇතුල් කරගෙන එළියට පැමිණේ. බන්ධනාගාරයේ සිරකුටිය තුළට ගිය විට මේවා එළියට ගෙන මුදලට විකුණයි. එළියට වඩා මිල අධිකය. එහෙත් ඉල්ලුම වැඩි ය. එළියේ නැතත් අතුලේ නම් කුඩු අඩුවන්නේ නැත.

සමහරු ඉටිකොළවල සුරක්ෂිතව පිළියෙළ කළ හෙරොයින් පැකට් ගිල දමයි. ඒවා ලබා ගත හැක්කේ මළ පහ කිරීමෙනි. සමහර අවස්ථාවලදී හෙරොයින් ගිල ආ සිරකරුගේ මළපහ බෙදා ගැනීමට ද හෙරොයින්වලට ඇබ්බැහිවූ මත්ලෝලියෝ පොරකති.


ජංගම දුරකතන

සිරකරුවන්ට ජංගම දුරකතන ලැබෙන ක්‍රම ද කිහිපයකි. සමහර බන්ධනාගාර නියාමකවරුන්ට (සමහර ජේලර්වරුද මේ කටයුතුවල යෙදී සිටිති) රුපියල් පන් දහසක් දුන්නොත් රුපියල් දෙදහස් පන්සීයක් හෝ තුන් දහසක් වටිනා ජංගම දුරකතනයක් ලබා ගත හැකි ය. අනිත් ක්‍රමය නම් අධිකරණයට ගොස් එද්දී ගුද මාර්ගයට ඇතුල් කරගෙන ය. ජංගම දුරකතනයත්, චාජරයත් යන දෙකම එකවර මෙසේ ගුද මාර්ගයට ඇතුළු කරගෙන හිරගෙදරට රැගෙන එන සිරකරුවෝ ද සිටිති.

සිරකුටි පරීක්ෂා කරන අවස්ථාවලදී යට ඇඳුම් තුළ හෝ ගුද මාර්ගයේ මේවා සඟවා ගනිති. නොඑසේ නම් සිර කුටිවල ඇති රහස් ගුල්වල සඟවා තබති. නොඑසේ නම් පරීක්ෂාවට පැමිණෙන ගාඩ්වරයාට රුපියල් පන්සියයක් දහසක් අතමොලවා දුරකතනය බේරා ගනී.

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නන් බැලීමට සිය ඥාතීන්ට දිනපතා වුව පිළිවන. එසේ ම ඕනෑම ආහාර පාන වර්ග ද ලබා දිය හැකි ය. මේ ආකාරයෙන් සිර ගෙදරට මිදි, ඇපල් පවා ලැබේ. කේක්, බිස්කට් ආදී සෑම ආහාර වර්ගයක්ම ලැබේ. අච්චු ලැබූවන් මේවා මිලදී ගනී.

සිරකරුවන්ට සිගරට් තහනම් නැත. එබැවින් සිගරට් හොර මාර්ගයෙන් ලබාගත යුතු නැත. ගංජා, දුම්කොළ ආදිය ද බන්ධනාගාරවල ඕනෑම වෙලාවක, ඕනෑම තරමක් මිල දී ගැනීමට හැකි ය. අවශ්‍ය මුදල් පමණි.

“මීට අවුරුදු 3කට කලින් මම දෙසැම්බර් 31 වැනිදා දිනෙක රෑ හොඳටම මත් වෙනකම් ගංජා බිව්වා. අන්තිමට වමනෙත් ගියා. එදායින් ගංජා බීම නැවැත්වුවා. ආයි දවසක් අරක්කු බෝතලයක් ම බිව්වා. “

මේ සිරකරුට මේවා ලැබුණේ කෙසේ ද ?

සමහර සිරකරුවන්ට මෙට්ට ඇත. කොට්ට, පැදුරු බාරව සිටිනා ගාඩ්වරුන්ට කීයක් හෝ අතමෙල වූ පසු කොට්ට 4ක් 5ක් වුව ලබා ගත හැකි ය. පෙරවීමට දෙන ඇතිරිල්ල මුට්ටුකර කොට්ට ගලවා පුළුන් ඒ තුළට දමා මෙට්ටය සකසා ගනී.

සිරකුටි තුළ ආහාර පිස ගන්නා සිරුකරුවන් ද වේ. සිරකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා තහඩුවලින් නිෂ්පාදිත කුඩා බාල්දි වැනි උපකරණ ලබා දේ. හිස ගැල්වීමට පොල්තෙල් ද ලබා දේ නොඑසේ නම් මිලදී ගනී. ඇද ඇතිරිල්ලකින් පටියක් ඉරා මහත පාන්තිරයක් ලෙස අඹරා එය ඇලුමිනියම් භාජනයේ ඇතුළත දරණුවක් ලෙස අතුªරයි. දැන් ඒ තුළට පොල් තෙල් දමා තිරය අවුලුවා ලිප සකසා ගනී සමහර සිරකරුවන් හොට් ප්ලේට් ද සාදාගෙන ඇත. කුඩා බාල්දියක පතුල ගලවා වටේ සිදුරු කර එය ලිප උඩින් තබා ඒ මත තවත් බඳුනක පිළියෙළ කළ ආහාරය පිස ගනී.

බොහෝ විට ලැබෙන මස් හොද්ද තෙල් ලුණු තුන පහ දමා රසවත් ලෙස සකසා ගනී. සිරකුටි තුළ දී තේ සාදා ගැනීමට ද සමහර සිරකරුවෝ කටයුතු කරති. තේ කොළ, සීනි, පිටි, රිමාන්ඩ් සිරකරුවන්ගෙන් මිලදී ගනී. මේ සමහර සිරකුටිවල හීටර ඇත.

සමහර සිරකරුවන් දිනපතා ලැබෙන ආහාරය අප්‍රිය වූ විට කුස්සි පාටියට මුදල් දී ආහාර වේල රසවත්ව පිළියෙල කරවා ගනී. එක් ආහාර වේලක් සඳහා රුපියල් 10ක් පමණ දීම ප්‍රමාණවත් ය.

ණයට දීම් ණය ගැනීම් ද ඇත. එහෙත් වේලාවට ණය නොබේරුවොත් ගුටි කෙළිය. මිනී මරා ගන්නා අවස්ථා ද ඇත. ඒ බොහෝ විට කුඩු සම්බන්ධ ගනු දෙනුවලදී ය.

සිරකුටි තුළ දී ගිනි මොලවා ගැනීමට ගිනි පෙට්ටියක් නොමැති විට ගල් යුගයේ දී ගිනි මොලවා ගත් ආකාරයට වඩා ටිකක් දියුණු ක්‍රමයක් උපයෝගී කරගෙන ගින්දර නිෂ්පාදනය කර ගනී.

මොවුන්ගේ ප්‍රයෝජනය සඳහා දී තිබෙන තහඩු බාල්දියක පහළ වටේ ගැට්ට ගලවා එය කොතැනක හෝ එල්ලයි. එම ගැට්ට බාල්දියේ අනෙක් කොටසට වඩා ශක්තිමත් ය. ගල් කැටයක් රෙදි කැබැල්ලක් ආධාරයෙන් ගැට ගසා එයින් බාල්දි ගැට්ටට තදින් පහර දේ. එවිට ගින්දර නිෂ්පාදනය වේ. නොඑසේ නම් කාමරයේ ඇති විදුලි බල්බය ගලවා හෝල්ඩරයේ පින්වලට හීටරයේ පින් එක තබා වයර් ෂෝට් වීමට ඉඩ හැර ගින්දර නිපදවා ගනී. ජංගම දුරකතන චාජ් කරගන්නේ ද විදුලි බුබුල සවිකර ඇති හෝල්ඩරයෙන් විදුලි බලය ලබා ගැනීමෙනි.



වෙනත් තොරතුරු

සිරකරුවන්ට රාත්‍රී ආහාරය සවස 4.00 වන විට ලැබේ. සවස 5 වන විට සිරකුටි වසා දමයි. ඉන් අනතුරුව මොනම හේතුවක් නිසාවත් සිරකුටියෙන් පිටතට පැමිණිය නොහැකිය. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අත සෝදා ගැනීම දත් මැදීම ආදී සියලු කටයුතු කරගත යුත්තේ කුටිය තුළ දී මය. ඒ සඳහා බෙලෙක් බාල්දි උපයෝගී කර ගනී. මේ සියලුම අපවිත්‍ර දෑ එළිවන තුරු සිරකුටිය තුළ තබා ගත යුතු ය.

රාත්‍රියේ දි මූත්‍රා බරක් හෝ මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒවා කළ යුත්තේ ද සිර කුටියේ සිටින අනිත් සාමාජිකයන් ඉදිරියේ අර බෙලෙක් බාල්දියකට ය. එළි වන තුරු එය කුටියේ තබා ගත යුතුවේ.

පාතාල කල්ලි සාමාජිකයන් හයි කාරයන් මෙන්ම මුදල් හදල් ඇති පවුල්වල සාමාජිකයන් සිරගෙදර ගෙවන්නේ ද සුඛෝපභෝගී ජීවිතයකි. (ඒ සුඛෝපභෝගී බව එළියේ ජීවත් වන කෝටිපතියන් ගෙවන සුඛෝපභෝගී ජීවිතය හා සමකළ නොහැකි ය.)

ඔවුන් සිය ඇඳුම් පැළඳුම් සෝදා පිරිසුදු කරන්නේ නැත. ඒවා අහිංසක දුප්පත් සිරකරුවන්ට බාර දේ. එක කෑල්ලකට රුපියල් 5ක් හෝ 10ක් බැගින් ගෙවා රෙදි සෝදා පිරිසුදු කරවා ගනී. ආහාර පෝලිමේ ගියත් පිඟාන සෝදා ගන්නේ නැත. ඒවා කිරීමට අතවැසියෝ සිටිති. රාත්‍රී කාලයේ බහිස්‍රාවය කරන අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසුදු කළ යුත්තේ ද මේ අතවැසියන් ය.

රිමාන්ඩ් සිරකරුවන්ට නිල ඇඳුමක් නැත. ඔවුන්ට කළ යුතු රාජකාරි ද නැත. උසාවි යාමත් යළි සිරගෙදරට ඒමත්, එසේ පැමිණෙද්දී මත්ද්‍රව්‍ය වැනි දෑ සිරගෙදරට ගෙන ඒමත්, ඔහේ නිකන් බලා සිටීමත් ඔවුන් සතු කාර්යය භාරයයි.

බන්ධනාගාර රැඳවියන් බලාගන්නා බන්ධනාගාර නිලධාරීන් ද මෙහි දී මතක් කළ යුතු ම ය. ඔවුන් බොහෝ විට කාර්යාලයේ දී පවා අතට පයට සිරකරුවන් තබා ගෙන සිටී. සමහර අවස්ථාවලදී පියන් වැඩය පමණක් නොව ක්ලාක් වැඩ ද සිරකරුවන් යොදවා කරවා ගනිති.

මේ සඳහා උගත්කම් ඇති සිරකරුවන් යොදා ගැනේ.

දිනක් එක්තරා බන්ධනාගාරයක නියාමකවරයකු නිල ඇඳුමින් සැරසී කැප් තොප්පිය ද පැළඳ බන්ධනාගාරයේ දොරටුව දෙසට ගමන් කරමින් සිටියේ ය. උසස් නිලධාරියෙක් ඉදිරියට පැමිණේ. කලබල වූ නියාමකවරයා එක්වරම නිලධාරියාට සෙලියුට් එකක් ගසා ආචාර කෙළේ ය. කැප් තොප්පිය බිම වැටිණි. හිස මත තිබුණ බර පාර්සලයක් ද ඒ සමඟම බිම වැටිණි. එය මස් පාර්සලයකි. සිරකරුවන්ට දීම සඳහා වෙන් කළ මස්වලින් කොටසකි. මොහු මීට පෙර කොපමණ කලක් මෙසේ මස් ගෙන යන්නට ඇත් ද?

සිරගෙදර තුනපහ කුඩු වර්ග සැපයෙන්නේ තොග පිටිනි. ඒවා අසුරා එන්නේ බාල්දිවල ය. බාල්දිය විවර කළ විට පිරෙන්නට බඩු ඇත. එහෙත් පතුලේ මුනින් අතට නැමූ බාල්දියකි. සිරකරුවන්ගේ ආහාර වේල් නීරස වන්නේත්, නියමිත ආහාර සලාකය අඩුවෙන් ලැබෙන්නේත් මේ නිසා ය.

නමුත් ආහාර පෝලිමේ දී ආහාර බෙදාහරින පුද්ගලයාට (පාටි කාරයාට) අත මිට මෙලවූ අයට ආහාර වැඩිපුර ලැබේ. අහිංසකයන්ට ලැබෙන්නේ අදාළ සලාකයටත් වඩා අඩුවෙනි.

හොඳින් ස්නානය කර ගැනීමට නම් ඒ අංශ භාරව සිටින නිලධාරීන්ට මෙන්ම පාටිකාරයන්ට ද ‘සම්තින්” දිය යුතු ය. එසේ නොමැති නම් හොඳින් දිය නා පිරිසුදු වීමට ද ඉඩක් කඩක් නැත.

බන්ධනාගාර තුළ රැඳවියන් අතරේ සන්ඩු සරුවල් ඇතත් නිතරම පවතින මහා සන්ඩු සරුවල් එතරම් දැකිය නොහැකි ය. අපරාධකරුවන් ලෙස නම් කොට බන්ධනාගාර ගත කර සිටින ඔවුන් මේ ගෙවන ජීවිතය දෙස මධ්‍යස්ථව බැලුවොත් දුක සිතේ.

එහෙත් අපරාධයක් කළා නම් දඬුවමක් අවශ්‍යමය.අපරාධ නොකළ පුද්ගලයන්ද වැරැදිකරුවන් වී දඬුවම් විඳීන අවස්ථාද ඇත. නමුත් කළ හැකි දෙයක් නොමැත. විඳවීමම පමණි.



Friday, November 23, 2012

අයියේ මේ පැත්තෙන් දුවමු

එක එක විදියේ කතා ලීවා. අද ලියන්න යන්නේ වලියක කතාවක්. මේක මම කියන්න යන්නේ මගේ වචන වලින් නෙමෙයි. අපේ දිලුමාගේ වචන වලින්. අපේ ටීම් එකේ දොලොස් දෙනෙක් ඉන්නවා කියලා මම බ්ලොග් එක පටන් ගන්නකොටම කීවා නේ. පළවෙනි පෝස්ට් එක වෙච්ච අපි කියන ලිපියෙන් ඔයාලාට කීවා මතක ඇති. මේ වෙනකොට දිලූමා සබරගමුව විශ්‍ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ පළවෙනි වසරේ ශිෂ්‍යවෙක් විදියට ඉගෙන ගන්නවා. මේ කතාව මම පෝස්ට් කලාට ලියන්නේ අපේ දිලුමා. නිකංම නිකං දිලුම් නෙමෙයි. බස් දිලුම්.....








මේක ටිකක් පොඩි කතාවක්......උනේ ඉස්කෝලේ යනකාලේ...ඒ කලේ ඉස්කෝල ඉස්කෝල වලි සැහෙනට තියෙනවනේ... ඔන්න ඒ දවස් වල අපේ ඉස්කෝලේ එක්ක ටිකක් ලග ඉස්කෝලෙක බර වලි තිබ්බ...උන් අපිට ගහනවා අපි උන්ට ගහනවා....වලි ලෝකයය්.....ඔන්න ඉරිදා දවසක පන්ති ගිහිල්ල ඉද්දි ආරංචියක් එනවා අරුන්ගේ ඉස්කෝලේ එවුන් අද bus එකක town එකට එනවා කියල අපිට නෙලන්න....අපි කට්ටිය පන්තියේ interval එකේ පන්තියෙන් පැන්න......පැනල ආවා ගම්පහ ඉස්පිරිතාල හන්දියට අරුන්ගේ bus එක එනවා නං එන්න ඕනේ ඒ පාරේ හින්ද....අපිත් දැන් සන්නද්ද වෙලා ඉන්නවා ආවොත් bus එක කුඩු කරන size එකට...ටික වෙලාවකින් ඔක්කොම පන්තිවල ඉන්න අපේ ඉස්කෝලේ එවන් ටික ආවා එතෙන්ට....

හන්දියේ කොල්ලෝ පිරිලා යන හැම මිනිහම බල බල යනවා.......ඒ අතරේ මොකෙක් හරි එකෙක් පොලිසියට කෝල් කරලා කියල කොල්ලෝ ටිකක් මෙහෙම ඉන්නවා කියල....මෙන්න ටික වෙලාවකින් දැක්ක පොලිස් ජීප් 2 ක් එනවා අපේ පැත්තට....ඇවිල්ල ගැහුවා බ්රේක් පාරක් ජීප් දෙක වටයක් කැරකිලා නතර උනේ.......මෙන්න බොලේ ජීප් එකෙන් පොලිස්කාරයෝ බැහැල අපේ උන් පස්සේ පන්නනවා.....මමත් බැලුව හරියන්නේ නෑ වැඩේ ලගම තිබ්බ පාරක දිව්වා......මීටර් 50 ක් වත් දුවන්න උනේ නෑ පාර ඉවරය්.....ඒ පාර ගෙදරකට යන පාරක්.....එහෙම්ම ගෙදර වත්තට රිංගල තාප්පේ අස්සේ හැංගිලා විනාඩි 10 ක් විතර හිටියම තත්වය සමතයකට පත් වෙලා වගේ තේරුණා.....ඊට පස්සේ මොනවත් දන්නේ නෑ වගේ සිද්දිය වෙච්ච තැනින් යනකොට අපේ එව්න්ගේ සෙරෙප්පු තියෙනවා කඩයක් දන්නා පුළුවන් තරං....හදිස්සියට අපේ එවන් දුවල තියෙන්නේ සේරෙප්පුත් දාල.......


ඊට පස්සේ තමය් සිද්දියේ ආතල්ම හරිය......town එකට ඇවිල්ල කෝල් කර කර කට්ටියව හෙව්වා මොකද උනේ කියල....මේ තියෙන්නේ එව්න්ට උන වැඩ.....
කට්ටියක් ලගම තිබ්බ ෆාමසියට ගිහිල්ල විටමින් C පෙති අරන්....තවත් එවන් ටිකක් එහා පැත්තේ තිබ්බ නගරසභාවේ පුස්තකාලේ පොත් කියෝල....
තව එකෙක් දුවනකොට අය්යා කෙනෙකුත් මු එක්කම දුවගෙන යනවලු.....අපේ එකා කිව්වලු "අයියේ මේ පැත්තෙන් දුවමු" කියල.....ඒ අය්යා මුගේ බෙල්ලෙන් අල්ලාගෙන "තෝව මම දුවොනවා, මෙහෙ වර" කියල ඇදගෙන ගියාලු......බැලින්නන් ඒ සිවිල් හිටපු පොලිස් කාරයෙක්........
තව අපේ එව්න් ටිකක් දුවගෙන යද්දී පොලිස් ජීප් එක එනවා දැකල දුවන එක නතර කරලා ඇවිදගෙන යනවලු....ජීප් එක නතර කරලා ඇහුවලු මොකද දුවන්නේ කියල........අපේ එකෙක් කිව්වලු කෝච්චියට පරක්කු වෙනවා ඒකය් දිව්වේ කියල....තව පොලිස් කාරයෙක් ඇහුවලු කොහෙද ගෙවල් කියල....මු කියල උඩුගම්පොල කියල....උඩුගම්පොලට කොහෙද යකෝ කොච්චි යන්නේ කියල මුන් ටිකව ජීප් එකට දාගෙන....


තව අපේ එකෙක්ද කෝල් කරලා ඇහුව කොහෙද කියල......මු කියනවා "කොහෙද මන්ද බන් වෙලක් තියෙනවා විතරය් දන්නේ" කියල....ඒ යකා පාර හොයාගෙන ආවේ සැහෙන වෙලාවකට පස්සේ.......
මේ සිද්දියෙන් අපේ එව්න් 5 දෙනෙක් විතර පොලිසියට අහුවෙලා අම්මල ගෙන්නලා බාරදීලා.....සිද්දිය කියන්නේ හැමදාම පන්තියේ පළවෙනිය වෙන එව්න් ටික තමය් පොලිසියට අහු වෙලා තියෙන්නේ.....දෙන්නෙක් දැන් මොරටුව Engineering........තව එකෙක් පේරාදෙණියේ.......

Wednesday, November 21, 2012

නග්ග ගන්න...




වැල් පෙනෙල ශාඛා....
ගිතෙලෙන් මලවා කා....
අඹු නොපතන ඒකා.....
සියක් අඹුවන් පතයි ඒකා........

කියමු බලන්න තේරුම.....

Tuesday, November 20, 2012

කරාබුගස්හන්දිය - කොටුව





දිනය : 2010/07/17

මාගේ මවට හදිසියේ ඇගේ ගම වන මාතර යාමට වුවමනා වූයේ ඇගේ පුංචි අම්මා කෙනෙකුට හදිසියේ අසනීප වී රෝහල් ගත්කල නිසාය. 17 වන සෙනසුරාදා පාන්දර මාගේ මවත් නැගනියත් මාතර යාමට පිටත් විය. උදේම ඔවුන් පිටකොටුවේ මාතර බස් නැවතුමට ඇරලවීමට මට සිදුවිය. පාන්දර 4:45ට පමන ගෙදරින් පිටත් වූ අපි සේදවත්ත පාරෙන් පැමින අලුත් පාලම (පෑලියගොඩ) උඩට එන විට පහ පහු වූවා පමනි. මාතර බස් නැවතුමට යාමට කොටුව බස් එකක යා යුතුය. පිටකොටුව බස් වල ගියොත් පයින් යාමට ටික දුරක් ඇත. 5:10 පමන වන විට 356 කරාබුගස්හන්දිය-කොටුව බස් රථයක් පැමිනියේය. මමත් අම්මාත් නැගනියත් එයට ගොඩ වුනි. මුදල් ගෙවූ මට ගෙවූ මුදලට ටිකත් පතක් ලබා දෙනලදී. සෙනසුරාදා වූ හෙයින් එහි ගොඩක්ම සිටියේ ගම් බලා යන මගීන්ය. සියලුදෙනා අත බෑග්මලු විය. කොටුව බස් නැවතුම් පල අසලින් බස් රථය සෑහෙන දුරකට හිස් වී ගියේය. මම අම්මත් නැගනියත් කැටුව මාතර බස් නැවතුමට ගියෙමු. ඔවුන් බස් රථයට නංවා කෑමද රැගෙන දී බසය පිටත් වූ පසු මම නැවත ගෙදර බලා ඒමට පිටත් විය. 

එවිට වෙලාව 6 වී නැත. අප පැමිනි කරාබුගස්හන්දිය බස් රථයම නැවත මට හමු විය. බසය තුල හිටියේ මගීන් දෙදෙනෙකු පමනි. මම ඉදිරියෙන්ම වාඩි උනෙමි. පාරද හිස්ය. බසය මදක් වේගයෙන් ගමන් කරමින් තිබුනි. පංචිකාවත්ත පහු උනා පමනි. ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු තිදෙනෙක් බසය නවතන ලදී. වෙලාව 6:30ට වත් නැත. "උදේ මුන්ට නින්දයන්නේ නැතුවද කියා මට සිතුනි." කොන්දොස්තර මහතා අපිට ටිකට්ලබා දී තිබුනේ නැත. වේලා සටහන් පත්‍රයත් රුපියල් සීයකුත් රැගෙන පරීක්ෂක මහතුන් වෙත දිව ගිය ඔහු මිනිත්තුවකින් නැවත පැමිනියේය. බසය පිටත් විය. රියදුරු මහතාත් කොන්දොස්තර මහතාත් මැදිවිය පැමිනි ප්‍රියමනාප පුද්ගලයන් දෙදෙනෙකි. සෙනග නොසිටි හෙයින් මම රියදුරුමහතා හා කතාවට වැටුනි. 
" දඩ ලියන්නේ නැද්ද? " මම විමසා සිටියෙමි. "මොන දඩද මහත්තයො?" ඔය නවත්තන්නේ රුපියල් සීයේ කෑලි ටිකක් කඩාගන්න. ඔතන හිටගෙන හිටියාම ඔය කට්ටියට රුපියල් 2500ක් විතර කිසි කරදරයක් නැතුව හොයා ගන්න පුලුවන්. උදේම යන බස් වල සෙනගත් නෑ. ටිකට් දෙන්නෙත් නෑනේ මහත්තයෝ. ටිකට් දෙන්න සෙනග ඉන්නත් ඕනේනේ. අපේ බස් එකේ ටිකට් දෙනවා හැම කෙනෙකුටම. උදේ පාන්දර හිස් බස් එක නිසා දුන්නේ නැත්තේ මහත්තයෝ. " ඔහු කියූ කතාව හරිය. යනකොට ලබා දුන් ටිකට්පත තවමත් මගේ සාක්කුවේ ඇත. බසයේ හිටියේ මම ඇරුනුකොට මම නගිනකොට හිටි අයගෙන් එක් පුද්ගලයකු පමනි.එකෙකු පංචිකාවත්තෙන් බසිනු මම දුටිමි. "මේ රස්සාව කරන්නේ රස්සාවක් කියලා හිතාගෙන නෙමෙයි මහත්තයෝ" රියදුරු මහතා මා හා කතාවට වැටුනි. 


"සෑහෙන කාලෙකට මේ බස් පාරේ උදේ පාන්දර බස් එකක් තිබුනේ නෑ. මිනිස්සු ඔක්කොම පයින් හරි ත්‍රීවීල් වලින් හරි කිරිබත්ගොඩට ඇවිත් එතනින් බස් අරන් තමයි කොළඹ ආවේ. මේ තමයි පාරේ පළවෙනි බස් එක. ඒ කොච්චර කලත් වැඩක් නෑ මහත්ත්යෝ. අපේ රස්සාවට තරම් නීතී නෑ මේ රටේ කිසිම රස්සාවකට. අපි නිළ ඇදූම් අඳින්න ඔනා. නමුත් මහත්තයා බලන්න CTB බස් වල ඉන්න ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා මොනාද අඳින්නේ කියලා. අපිට කලින් එහෙනම් රජයෙන් එයාලාට නිළ ඇඳුම් අන්දවන්න තිබ්බානේ. අපේ ඇදූමේ ඔක්කොම දේවල් අකුරටම බලනවා. මහත්තයාට කියන්න අපේ කමිසේ සාක්කුවක් තියෙන්න ඕනා. ඒ සාක්කුව නැත්තන් අපිට අඳින්න තහනම්. බස් සංගම් වලත් මාර නීති තියෙන්නේ මහත්තයෝ. ටිකට් මැෂිම මොකක් හරි වෙලා කැඩුනොත් අපිට පාවිච්චි කරන්න පුලුවන් කාබන් තියලා ලියන්න පුලුවන් ටිකට් පොත් විතරයි. ඒ නැති උනොත් ප්‍රශ්න. අන්තිමට බස් අයිතිකාරයා අපි දෙන්නාම විස්වාසයි කියලා ලියුමක් දීලා තමයි ඒ ප්‍රශ්නේ විසඳ ගත්තේ. අපි දෙන්නාගෙන් එක්කෙනෙක් අසනීප වෙලා එන්න බැරි උනොත් බස් එකේ අයිතිකාරයාට බස් එක අරන් යෑම තහනම්. ඒකට වෙනම සංගමේට ගෙවලා අනුමැතිය ගන්න ඕනා. "ඒක පුදුම නීතියක් නේ" මම ඔහුට කීවෙමි. 


"ඒකනේ මහත්තයෝ මම කලින්ම කීවේ. ටයිම් කීපර්ලා හම්බ වෙනවා තුන් දෙනෙක් අපිට අපේ බස් රූට් එකේ. එක්කෙනෙකුට දවසට 300 ගානේ දෙන්න ඕනා.ඒ තුන් දෙනාට 1000 ක් ඉවරයි. එක්කෙනෙක් ඉන්නව. එයාට හරියට වෙලාවට බස් එක එන්න ඕනා. හදිසියේ පොඩි හරි බ්ලොක් එකකට අහු වෙලා පරක්කු උනොත් නඩුවක් තමයි. එහෙම උනාම රුපියල් 100ක් දේලා එයාව ශේප් කරන්න ඕනා. ඊට අමතරව පාරේ පොඩ්ඩක් බස් එක වේගෙ අඩු උනොත් එල්ලෙනමිනිස්සු ඉන්නවා. ඒක හදිසියේ හරි පොලිසියෙන් දැක්කොත් ඒකත් ලියනවා. ඊට අමතරව බස් ලෝඩ් කරන්න අය ඉන්නවා. උන්ට එක ටර්න් එකකට රුපියල් 20ක් දෙන්න ඕනා. තැන් කිහිපයකම ඒ අය ඉන්නවා. දවසට උන් හොයනවා මාර ගානක්. ඒ ඔක්කොමත් වියදම් දරාගෙන හවසට බස් අයිතිකාරයාගේ ගාන බේරන්නත් ඕනා. මම අවුරුදු 26ක් බස් රස්සාව කරනවා මහත්තයෝ. තාම මමයි මගේ පවුල, ළමයි දෙන්නා එක්ක ඉන්නේ කුලියට. කවදා ඉන්න තැනක් හදාගන්නද අපි? බසය අලුත් පාලමට පැමිනි හෙයින් මම ඔහුට සමු දී බසයෙන් බැස්සෙමි.

අපි බොහෝවිට බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් දෙස බලන්නේ නොරුස්සනා ස්වභාවයෙනි. එයට හේතුව ඔවුන්ගේ හැසිරීම් ස්වභාවයි. මිනිසුන් ඉස්සරහට පස්සට තල්ලු කරන, මගීන්ට බැන වදින, ඉතුරු මුදල් හරි හැටි ලබා නොදෙන කොන්දොස්තරවරුන්ද, බස් රේස් යන, කන පැලෙන්නට සින්දු දාන රියදුරන්ද නැතුවා නොවේ. නමුත් ඒ අතර රස්සාව සේවයක් ලෙස සලකා කරන අයද අතලොස්සක් හෝ සිටීම සතුටට කරුණකි.

අවසානයට බස් රථ රියදුරු කියූ කතාවක් මගේ හිතට හොදින් කා වැදිනි.

"කොච්චර මහන්සිවෙලා පාන්දර නැගිටගෙන මිනිස්සුන්ට යන්න එන්න විදියක් හදලා දුන්නත් මේ ලෝකේ ඉන්න ජරාම මිනිස්සු බස්කාරයො නෙ මහත්තයෝ."



ප.ලි.
මෙ කෙටි දුර ගමන් බස් රථ සේවාවක කතාවක්. මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් තමා දුර ගමන් සේවා බස් රථ රියදුරන්ගේ ජීවිත කතාව. ඒ ගැන තවත් පෝස්ට් එකකින්.

Thursday, November 15, 2012

කා.කා.ස. III




ජොබ් එක....
වටපිට බල බල ආතල් එකේ හිමින් සැරේ පදින
“රැලේ” බයිසිකලය"....බකට් එකයි ලැගේජ් එකයි තියෙන
උදේට  ගිහින් ලියුම් මල්ල ගේන්න... 
ඇයි කෙල්ලෝ ගොඩාක් වැඩකරන පත්තර කඩෙන් පත්තරේ ගන්න!
10ට බැංකු යනවා කියලා ටවුම වටේ පොඩි රවුමක් දාන්න..
පුළුවන් වුනොත් ගේ පැත්තට එහේමත්!
ලියාපදිංචි ලිපි ටික අරගෙන Three  O clock වෙද්දි Post Office එක පැත්තට..
කන්තෝරුවේ විතරක් නෙමෙයි, කන්තෝරුවේ වැඩකරන අයගෙත් බැංකු, ලයිට් බිල් වතුර බිල් දුරකතන බිල් ඇයි ජංගම දුරකතන බිල්...
ඒ විතරක්ද අනුන්ගේ කොන්තරාත්..... වෙන වෙන Office කෑලී...
විකාරයි... Contact ගොඩාරියයි...
ලොක්කො නෑ!
හොයන්න කෙනෙක් නෑ!! 
දුකත් නෑ..!!!
Self Service විතරමයි..
කරනවනම් ජොබ මෙන්න
කා.කා.ස III ට ලැබෙන පහසුකම් බලන්න.....
මම ආසම මටම සෙට් වෙන ජොබ් එක
ලොවෙත් නෑ....
රජයේ කාර්යාලයේ පණිවිඩකරු...

ප.ලි.
කා.කා.ස. - කාර්යාල කාර්ය සහයක

Wednesday, November 14, 2012

කොල්ලෝ දෙන්නයි... කෙල්ලයි...




ඊයේ දාපු අඩි යෙන්නඩී රාකම්මා පෝස්ට් එකට ගොඩක් ඉහල ප්‍රතිචාර ලැබුනා. මම බ්ලොග් කලාවට අලූත් කියලා ඔයාලා හැමෝම දන්නවා නේ. ඉතිං මේ හැමෝම ලියපු දේවල් බලාගෙන ඉඳලා තමා මමත් ලියන්න හුරු උනේ. අඩි යෙන්නඩී රාකම්මා පෝස්ට් එක එක දවසින් මගේ බ්ලොග් එකේ වැඩිම විව්ස් ගාන ආපූ පෝස්ට් එක උනා. ගොඩාක් සන්තොසයි. ගොඩාක් ස්තුතියි. අද කියන්න යන්නෙත් ඒ ට්‍රිප් එකේ වෙච්ච තවත් අමතක නොවන සිද්ධියක්. කලින් එකට වගේම මේ සිද්ධියටත් මුල් වෙන්නේ චාමිකයගේ බ්ලොග් ඉසවුව කරන චමියාම තමයි.

මම ඊයේ පෝස්ට් එකේ කීවානේ අපි ඔහියේ ඉඳං ඉදල්ගස්හින්න වෙනකන් රේල් හයික් එකක් කලා කියලා. කොහොම හරි රාත්‍රී තැපැල් දුම්රියේ ගිය අපි ඔහියෙන් බහිනකොට පාන්දර 5 උනා විතරයි. 



ඔහිය ඉස්ටේසම ඉස්සරහා තියෙන කඩේ රේල් හයික් කරන අය අතර ප්‍රසිද්ධ කඩයක්. සුප්‍රසිද්ධ පොල් රොටි තමා අපිත් උදේ ආහාරය විදියට අරගත්තේ.


කොහොම හරි කෑම් කාලා, කිරි එකකුත් බීලා, පත්තරත් බලලා එලිය වැටෙනකං ටිකක් හිටියා.


යාන්තම් එලිය වැටීගෙන එනකොට අපි පිටත් උනා.


හයික් එකේ පින්තූර එකතුව පෝස්ට් එක අවසානයෙ අරගෙන එන්නම්...
දැන් කතාවට යමු.

කොහොම හරි අපේ අරමුන උනේ බිංගෙවල් 14 අතරින් ගමන් කරලා, ලස්සන පින්තූර එකතුවක් අරගෙන උදේ 5.45ට බදුල්ලෙන් එන උඩරට මැණිකේ දුම්රිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් අල්ලගෙන ගම්පොලට යන්නයි. ඕක තමා අපේ දින තුනක සංචාරයේ පළවෙනි දවසේ වැඩ පිලිවෙල.

ඉදල්ගස්හින්නට උඩරට මැණිකේ දුම්රිය ලඟාවෙන්න තියෙන්නේ හරියටම උදේ 8.07ට. උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නියමිත වෙලාවට සිද්ධ වෙනවද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම කාලගුණතත්වය මත රඳා පවතින දෙයක්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වෙලාව පහුවෙන බව අපි දැනගෙන හිටියා. කොහොම හරි පින්තූරත් අරගෙන පය ඉක්මන් කරලා අපි ඉස්ටේසමට එන්න හිතුවේ උදේ 8.07 කෝච්චිය මිස් උනොත් ඊගාව පොඩි මැණිකේ ඉදල්ගස්හින්නට එනකොට 11.30 වගේ වෙන නිසා.



කොහොම හරි උඩවේරිය වත්ත හරියට එනකොට 8 පහු වෙලා. මග අපි පින්තූර අරගන්න, ස්වභාවදර්මය විඳගන්න වැය කරපු කාලය අම්මට සිරි වෙන්න වැඩියි කියලා තේරුනේ ඒ වෙලේ තමා. එතන ඉඳං අපිට තිබුනේ දිවිල්ලක් තමා. සෑහෙන දුරක් අපි දුවගෙන එනකොට හපුතලේ ඉස්ටේසමේ කෝච්චිය අදින නලා සද්දේ ඇහෙන්න ගත්තා. (ඔය හරියේ ඇවිදලා තියෙනවා නම් ඔයාලා මේ ගැන දන්නවා. ඉදල්ගස්හින්නට කලියෙන් තැනක් තියෙනවා හපුතලේ ඉස්ටේසම ලාවට පේන.) ඔන්න ඉතිං දිව දොට්ට දාගෙන අපි දුවනවා. ඉදල්ගස්හින්න ඉස්ටේසම පේන මානයේදී අපිට ඇහුනේ ඉදල්ගස්හින්න ඉස්ටේසමෙන් දුම්රියට පිටත් වෙන්න ලබා දෙන සයිරන් නලා හඬ. ඔය නලාව පිම්ඹට පස්සේ කෝච්චිය ඉස්ටේසමෙන් පිටත් වෙන්න ඔනා. අපේ බලාපොරොත්තු සුන් වෙන්න ඔන්න මෙන්න. කෝච්චිය පිටත් උනා ඉස්ටේසමෙන්. අපි දුම්රිය ස්ථානයේ ප්ලැට් ෆෝර්ම් එකටත් ගොඩක් මෙහා. 

දුම්රියේ සිටිය කාරුණික රියදුරුමහතා දැක්කා අපි කෝච්චියට නඟින්න දුවගෙන එන බව. ඉස්ටේසමෙන් පිටත්වෙලා මීටර කීපයක් ආව දුම්රිය අපි ලඟ නතර කලේ අපි හැමෝම පුදුමයට පත් කරවමින්. අදටත් ඒ කාරුණික රියදුරු මහතාට මගේ කෘතවේදීත්වය පුද කරනවා. 

කෝච්චියේ ඉස්සරහම පෙට්ටියට නැග්ග අපි ඔහිය ඉස්ටේසමෙන් ටිකට් අරගන්න බලාපොරොත්තුවෙන් තමා හිටියේ. ඔක්කොමලගේ ටිකට්වල සල්ලි මම එකතුකරගෙන ඔහියේ දුම්රිය නවත්වන්නත් කලින් ටිකට් කවුන්ටරේට දීවේ අනිත් අයට බෑග් අරගෙන දුම්රියේ පිටිපස්සට වෙන්න හිස් පා පුවරුවක් තියෙන පෙට්ටියකට ගොඩ වෙන්න කියමිනුයි. 

කොහොමහරි අපි ගියේ කෝච්චියේ අන්තිමම පෙට්ටියට. ඒ කියන්නේ නැරඹුම් මැදිරියට කලින් පෙට්ටියේ අවසාන පා පුවරුවට.

මෙන්න මෙතන.


මේ ඉන්නේ අපේ දිලුමා.

ඔන්න ඉතිං දැං ඔක්කොම හරි. හයික් එකත් කරා. කෝච්චියත් අල්ලාගත්තා. ටිකටුත් ගත්තා. හිස් ෆුට් බෝර්ඩ් එකකුත් සැට් උනා. දැං ඉතිං ලොවෙත් නෑ.

උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් කරනකොට තියෙන ලස්සන ගැන ඉතිං කවර කතාද. 
ඒ අසිරිය විදගනිමින් අපි හිටිය කෝච්චි පෙට්ටිය තනිකරම පිස්සු ලෝකයක් කරමින් තමා අපි සැට් එක හිටියේ. 

සාමාන්‍යයෙන් අඩි 55 කෝච්චි පෙට්ටියේ දොරවල් 06ක් තියෙනවා. එක පැත්තක තුන ගානේ.


අපි හිටියේ අන්තිමම කෙරවලේ කියලා මම කලින්ම කිවානේ. අපි හිටිය කෙරවලේ විරුද්ධ පැත්තේ පාපුවරුවේ ගමන් කරමින් හිටියේ තුන් දෙනෙක්. දෙන්නෙක් ආදරවන්තයින්. අනෙකා ආදරවන්තයාගේ යාළුවෙක්. තේරෙන සිංහලෙන් කියන්නම්. කොල්ලො දෙන්නයි, කෙල්ලයි. දෙන්නෙක් කපල් එකක්. අනෙත් එකා කොල්ලගේ යාලුවෙක්.

මේ තුන් දෙනා ඉතිං අපි කරන පිස්සු විකාර සෑහෙන වෙලාවක් බල බල හිටියේ. අපේ කට්ටියත් ඉතිං ගෑණු ළමයින්ට විහිලු කරන්න එහෙම දන්නේම නෑ නේ. කොල්ලෝ දෙන්නෙක් එක්ක හිටිය නිසා අර එහා දොරකොඩේ හිටිය ගෑණු ළමයා විතරක් බේරුනා. අපි හිටිය මැදිරියේ වගේම නැරඹුම් මැදිරියේ ගමන් කරන අයටත් ඉතිං වෙච්ච දේවල් හිතා ගන්න පුළුවන් නේ.

අපේ චාමිකගේ පුරුද්දක් තියෙනවා කොහේ ගියත් උගේ මොබයිල් එකෙන් සින්දු දාගෙන අහන. ඒකත් ඌ කරන්නේ ආතල් එකට. කෝච්චිය පුරාම දුවලා, පිස්සු නටලා දැං අපිටත් මහන්සියි. ඔන්න ඉතිං චාමික දැම්මා ෆෝන් එකෙන් සින්දුවක්. දැම්මෙත් ට්‍රිප් එකටම හරියන සින්දුවක්. ශෆ්රාස්, සමිතා එක්ක කියන ට්‍රේන් සෝංග් කියන සින්දුව ඔයාලා දන්නවා ඇති. අපේ චාමික දැම්මේ ඔන්න ඔය සින්දුව. කෝච්චියේ ගමනත් එක්ක දැං සින්දුව නැගලා යනවා. අපේ කස්ටියත් ඉතිං කකුල් පන නැති උනත් කටවල් පන තියෙන නිසා දෙක වෙන්න කෑ ගහ ගහ ඕක කියනවා. ටික වෙලාවකින් සින්දුව ඉවර උනා.
චාමිකගේ සින්දුව ඉවරවෙනවත් එක්කම අපිට තව සින්දුවක පටන් ගැන්මක් ඇහෙන්න ගත්තා. හැබැයි ඒ චාමිකගේ ෆෝන් එකෙන් නෙමෙයි.

අපි ඔක්කොම වටපිට බැලුවේ එකට. 
අපේ එහා පැත්තේ දොරකොඩේ හිටිය තුන් දෙනාගෙන් එක කොල්ලෙකුගේ ෆෝන් එකකින් ඔන්න සින්දුවක් යන පටන් ගත්තා..
"නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්"
"දුක නැතුවමත් නෙවෙයි ඔබ යන්න යනවා නම්"

චයිනීස් ෆෝන් වල සද්දේ කොච්චර සුන්දරද කියනා කියන්න ඕනෑ නෑ නේ. එහා පැත්තේ හිටිය එකාගේ තඩි චයිනීස් ෆෝන් එකෙන් කන කාරගෙන යන සද්දෙකින් ඔය සින්දුව ඇහෙනවා. (හොඳ වෙලාවට චාමිකගේ ෆෝන් එක K750 එකක්)

අපේ චාමියට ඉතිං ඕක ඇති. 
ඉරාජ් කෝච්චියේ හිටිය නම් ඒ වෙලේ චයිනීස් සවුන්ඩ් කොලිටි එකට ෆෝන් එක හදපු එකාව ගන්නවා ඉරාජ්ගේ කෲ එකට. අරගෙන ඉරාජ් මියුසිකල් වල සවුන්ඩ්ස් කරන්න භාර දෙනවා කියලා මට ඉර හඳ වගේ සුවර්.  ආයේ ලොවෙත් සුවර් මට නම් ඒක. එච්චරටම මිහිරියි ඒ සද්දේ. 

එහා පැත්තේ සින්දුව ඉවර වෙනකොටම චාමික පටං ගත්තා තව සින්දුවක් උගෙ ෆෝන් එකෙන්. 
"සුරඟන කිරිල්ලියේ"
"සඳ නුඹ ගැනමයි කතා කරේ"

දැං එහා පැත්තේ ඉන්න ජෝඩුවයි අර කොල්ලයි බලං ඉන්නවා චාමියගේ සින්දුව ඉවර වෙනකං. දැං උන් තුන් දෙනා අපේ එකා එක්ක සින්දු වලින් ගේම.

චාමියගේ සින්දුව ඉවර උනා විතරයි අරූ පටන් ගත්තා ඉංග්‍රීසි කෑල්ලක් දාන්න.
Queen සහ Five යන ගායන කන්ඩායම් දෙකම විසින් ගායනා කල "We Will We Will Rock You" කියන සින්දුව ආයේ අරූගේ Dolby Digital Sounds තියෙන චයිනීස් ෆෝන් එකෙන් ඇහෙන්න ගත්තා. 

මොකෝ අපේ චාමියා දෙවෙනි වෙන්නද?
ඒක ඉවර උනා විතරයි චාමික දැම්මේ Baha men ලාගේ "Who Let Dogs Out" ගීතය.

දැං ඉතින් ලොවෙත් ගේම. අරුන් එක සින්දුවක් දානවා. චාමික එක සින්දුවක් දානවා. ඌ දාන සින්දු වලට අපි හිනා වෙනවා. හින්ට් ගහනවා. චාමිකගේ සින්දු වලට උන් තුන් දෙනා හිනා වෙනවා. හින්ට් පාස් කරනවා.

ඔහොම සෑහෙන්න වෙලාවක් සිංහල සින්දුද, දෙමළ සින්දුද, හින්දි, ඉංග්‍රීසි ඔය හැම ජාතියකම සින්දු හුවමාරු වෙන්න ගත්තා. කට්ටියට මතක ඇති ඔය කාලේ තමා (මේ සංචාරය කලේ 2011 අවුරුද්දේ මුල් කාලේ කියලා කලින් පෝස්ට් එකේ මම කීවා) සිංහාවලෝකනය ෆිල්ම් එකේ "මතකද හැන්දෑවේ" ගීතය සෑහෙන්න ජනප්‍රිය වෙලා තිබුනේ. 

ඔන්න ඉතිං දැං චාමිකගේ සින්දුවක් ඉවර උනා. දැං අරුංගේ වාරේ. ඒ දවස් වල ඉහල ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුන මතකද හැන්දෑවේ සිංදුව චයිනීස් සද්දෙන් ප්ලේ වෙන්න ගත්තා. ඌ ටිකක් උජාරුවෙන් තමා ඒ සින්දුව ප්ලේ කරේ. නිකං ඒක උගේ තුරුම්පුවක් වගේ. මොක්ද ඒ සින්දුව චාමිකගේ ෆෝන් එකේ නැති වග චාමික වගේම ඌත් අනුමානෙන් හෝ දැනගෙන ඉන්න ඇති.

අවංකවම කීවොත් අපි කාටවත් එ සින්දුවට පාස් කරන්න හින්ට් එකක් වත් කියන්න දෙයක් වත් තිබුනේ නෑ. අපි හැමෝම ඒ සින්දුව අවංකවම රස වින්දා. 

එහා දොරකොඩේ හිටිය තුන් දෙනා උජාරු ලීලාවෙන් තමා අපි දිහා බැලුවේ. නිකං හරියට ගීතයෙන් ගීතය කරලා උං දින්නා වගේ.

චාමික ඉන්නවා බිම බලාගෙන. සද්දයක් නැතුව. 

කොහොම හරි මතකද හැන්දෑවේ සින්දුව ඉවර උනා. 
දැං අරුං බලන් ඉන්නේ චාමිකගේ ඉලඟ සින්දුව එන තුරු. චාමික තත්පර කීපයක් නිශ්ෂබ්දයි..

ඊ ලඟ මිනිත්තුවේදී කෝච්චිය දෙවනත් වෙන්න අපිව හිනා ගස්සන්න චාමියට පුළුවන් උනා. 

"කාලීණ කවි බණ අංක දහය. දේශකයානෝ පූජ්‍ය අලවතුරේ විජිතවංශ හිමි"

චාමියගේ ෆෝන් එකේ තියෙන කවි බණක් මහ හයියෙන් චාමික ප්ලේ කරා..

අපිට මැරෙන්න හිනා.

එහා දොරකොඩේ හිටිය තුන් දෙනා අතේ තිබ්බ ෆෝන් සාක්කු වල ඔබා ගෙන කෝච්චියේ ඉස්සරහටම යනවා අපි බලාගෙන.

Tuesday, November 13, 2012

අඩි යෙන්නඩී රාකම්ම්මා........

අපේ සැට් එකේ ඉන්න චාමික.. අපේ කට වචනයෙන් කියනවා නම් චාමියා කියන්නේ තනිකරම රසකතා සාගරයක්. මුලූ ට්‍රිප් එකම තනිකරම පිස්සු ලෝකයක් කරන්න චාමිකට ගත වෙන්නේ මිනිත්තු කීපයයි. ඇඟෙන් පතෙන් එච්චරම ලොකු මිනිහෙක් නොවුනත් බොක්ක නොම්මර එකේ බොක්කක්. හිත හොඳ සුපිරි කොල්ලෙක්. ආයේ ට්‍රිප් වල සුපිරිම ආතල් දෙන එකෙක් තමා චාමියා. සමහරු නම් චාමියගේ බ්ලොග් එක ගැන හොඳට දන්නවා ඇති. ඔව්.. මේ ඌ තමා.. චාමිකයගෙ බ්ලොග් ඉසව්ව කරන චාමික ගැන තමා මම මේ කියන්නේ. (අපේ සෙට් එකේ 12යි. ඒ 12 දෙනා අදූරගන්න මෙතනින්.) 


ට්‍රිප් අතරතුර සිද්ද වෙච්ච රසකතා නම් තියෙනවා අනන්තවත්. අද කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.
මේ 2011 අවුරුද්දේ මුල් කාලේ. දිනය නම් හරි නිච්චියක් නෑ. අපේ ප්ලෑන් එක උනේ රේල් හයික් එකක් කරන්න. මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමුම අමු කෝච්චි පිස්සෙක්. මගේ නිවස පිහිටලා තියෙන්නේ පැරණි මුතුවැල්ල දුම්රිය මාර්ගයත් ප්‍රධාන මාර්ගයත් අතර මැද. අවුරුදු 13ක් ඉස්කෝලේ ගියේ රේල් පාර දිගේ. අවුරුදු 26ක් හැදුනේ වැඩුනේ කෝච්චි සද්දෙත් එක්ක. ඒ නිසාමද මන්දා කෝච්චි වලට කුඩා කාලයේ ඉදං තිබුනේ පුදුම ආසාවක්. බ්ලොග් අවකාශයේ කෝච්චියා ගැන අටුවා ටිකා ඕනේ නෑ නේ. බ්ලොග් එකක් කියලා ඉස්සෙල්ලාම මම කියෙවුවේ ගෙහාන්ගේ බ්ලොග් එක. හැබැයි උගෙයි මගෙයි යාළුකම ඊට සෑහෙන කාලෙකට කලින් ඉඳං එන එකක්. 


රේල් හයික් ගැන කියපු නිසා තව පොඩි දෙයක් කියන්නම්.  නානුඔය-අඹේවෙල- පට්ටිපොල-ඔහිය-ඉදල්ගස්හින්න කියන්නේ රේල් පාරේ ඇවිදීම විනෝදාංශයක් කරගත්ත අයගේ ප්‍රධානම දුම්රිය ස්ථාන කීපය. හයිකිං ආරම්භ කරන කෙනෙකුගේ ආරම්භය මේ දුම්රිය ස්ථාන අතරින් එකක් කීවොත් ඒ තර්කය 95% කටම ඇත්ත. (මමත් ඇතුලුව) නමුත්  අද වෙනකොට නානුඔය-අඹේවෙල-පට්ටිපොල අතර ප්‍රදේශය හයික් වලට තහනම් කලාපයක් බවට පත් කරලා තියෙනවා. 

ආයේ කතාවට යන්නම්කෝ...
ඔන්න ඉතිං අපේ ගමනේ පරමාර්ථය උනේ ලංකාවේ දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම බිං ගෙවල් සංඛ්‍යාවක් පිහිටලා තිබුන ඔහියත් ඉදල්ගස්හින්නත් අතර දුම්රිය මාර්ගයේ සංචාරය කරන්න. හැමදාමත් වගේ කොටුවෙන් රෑ 8ට පිටත්වෙන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කරන්න අපි යොදාගෙන තිබුනේ. එදා අපේ ගමනට එකතු උනේ අපේ කන්ඩායමෙන් 05 දෙනෙක් විතරයි. ඒ මමත්, කඩියත්,චාමියත්,බන්ඩත්, දිලුමත්. බන්ඩා ඇරෙන්න අනිත් 04 දෙනාම කොටුවෙන් කෝච්චියට ගොඩ උනා. බන්ඩා ගම්පොලින් අපිත් එක්ක සෙට් වෙන්න නියමිත වෙලා තිබුනේ. ආහාර, පානය කරන ජාති වගේම ටෝච්, ඉටිපන්දම් එහෙමත් අරගෙන අපි කෝච්චියටගොඩ උනා. දිනය සිකුරාදා දවසක් කියලා තක්කෙටම මට මතකයි. සිකුරාදා දවසට බදුල්ල මේල් එකේ තුන්වෙනි පන්තියේ තදබදය ගැන කියන්න ඕන නෑ නේ. කටකපලා සෙනඟ. කොටුවෙන්ම සීට් වලට මරාගන්නවා. කොහොම හරි අපි පොරකාලා තුන්වෙනි පන්තියේ ආසන  අල්ලා ගත්තා. වාසනාවකට වගේ එක ලඟ සීට් අපි හතර දෙනාටම හම්බ උනා. දුම්රියේ තුන්වෙනි පන්තියේ ආසන සැකැස්ම ගැන ඔයලා දන්නවා ඇතිනේ. මූලට මූන බලාගෙන ඉන්න පුළුවන් ආකාරයට අතර මැද කුඩා ඉඩක් තියෙන ආකාරයට තමා මේ ආසන සකස්වෙලා තියෙන්නේ. 


ඔන්න ඉතිං කෝච්චිය 08ට පිටත් උනා... දැං කට කපලා සෙනඟ. අපි වාඩි වෙලා හිටියේ දෙන්නා දෙන්නා මූනට මූන බලාගෙන ඉන්නා ආකාරයට. රාගම දුම්රිය ස්ථානය පහු උනා විතරයි. අපි ඉන්න තැනට ටිකක් වයසක මනුස්සයෙක් ආවා. පෙනුමෙන් වගේම කතාවෙන් දෙමළ මනුස්සයෙක් කියලා තේරුම් ගන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ.


"පුතාලා මට  ඉඩ පොඩියක් දෙනවද...."
එහෙම කියපු අර මනුස්සයා අතෙ තිබුන බෑග් එකෙන් ඇදලා ගත්තේ ඇඳ රෙද්දක්. සිංහලෙන් කීවොත් බෙඩ් ශීට් එකක්. අපි 04 දෙනාගේ කකුල් ඈත් මෑත් කරලා ඉඩ හදා ගත්ත මේ මනුස්සයා මෙන්න සීට් දෙක අතර බෙඩ් ශීට් එක එලුවා.. අපිට දැං නිකන් මෝල් වගේ. මොකද්ද මේ කරන්න හදන්නේ කියලා තේරුම් ගන්න අපිට ටිකක් වෙලා ගියා. අපෙ කකුල් පාමුල රෙද්ද එලලා.. බෑග් එකෙන් තවත් බෙඩ් ශීට් එකක් අරගෙන,ගමන් මල්ල ඔලුවට තියාගෙන, අනිත් රෙද්ද ඔලුවේ ඉඳං පෙරවගෙන මෙන්න මේ මනුස්සයා නිදි... 
අපි එකෙකුටවත් දැං කකුල් දෙක හොල්ලන්නවත් බෑ. විනාඩි 10ක් ගියේ නෑ. මෙන්න මේ යකා ඒ පාර ගොරවන්න ගත්තා...
අයියෝ.. සල්ලි කිව්වලු..


දැං ඉතිං ගහන්න යෑ මේ යකාට... මොනා උනත් අමාරු නිසානේ නිදියන්නේ. එක්කෝ රස්සාව කරලා මහන්සි ඇති. එහෙම හිතලා අපි හතර දෙනා හිත හදා ගත්තා.. හැබැයි ඉතිං එහෙම හිත හදා ගත්තට අපි වාඩි වෙලා හිටියේ නම් හරිම අමාරුවෙන්. මම මේ කියන දේ ඔයාලට තේරෙනවා ඇති කියලා හිතෙනවා. අපෙත් අඬු බඬු දිගයි. එක අතකින් මහන්සියයි, නිදිමතයි. ඒ අස්සෙ කකුල් දෙක හොල්ලන්නවත් බෑ. මේ යකා කකුල් පාමුල හොඳට පොරවං නිදි. කොහොම හරි මාරුවෙන් මාරුවට අපි එක එකා කකුල් අනිත් සීට් එක උඩ තියාගෙන අමාරුවෙන් හිටියා. ගම්පොලට කෝච්චිය එනකොට හරියටම රෑ 12 වෙනවා. ගම්පොල ඔරලෝසු කණුවෙ 12 ඉලක්කම පේනකොට කොච්චිය ඉස්ටෙසමට ඇතුල්වෙන එක නයිට් මේල් එකේ ගිහින් තියෙනවා නම් ඔයාලා දකින් සුලභ දර්ශනයක් වෙනවා නොඅනුමානයි. ගම්පොලින් තමා බන්ඩා නගින්න නියමිත වෙලා තිබුනේ. කොහොමහරි කරලා බන්ඩවත් අපේ ලඟට ගෙන්න ගත්තා. අපි හතර දෙනා හිටිය හැටි දැකලා බන්ඩා බඩ අල්ලගෙන හිනා. මොනා කරන්නද. කොහොම හරි කට්ට කාගෙන හිටියා. ගම්පොල, නාවලපිටිය වෙනකොට අර හිටිය සෙනඟ යම් තරමක් දුරට අඩු වෙලා. නාවලපිටිය ඉස්ටේසම පහු උනා විතරයි මෙන්න මේ මනුස්සයා දඩ බඩ ගාලා නැගිට්ටා. වෙලාව 1 පහු උනා විතරයි.



පෙරවං හිටිය ශීට් එක නවලා බෑග් එකේ ඔබා ගත්තා. එලාගෙන හිටිය ශීට් එකත් බෑග් එකේ ඔබා ගත්තා. බෑග් එකේ ලට්ට ලොට්ට අතරට අතදාලා හොයලා ගත්තේ දත් බුරුසුවකුයි ටූත් පේස්ට් එකකුයි. බුරුසුවට පෙස්ට් ටිකක් දාගත්ත මේ මනුස්සයා ගියේ කෙලින්ම දුම්රියේ වැසිකිලියට. අපි වාඩෙවෙලා හිටියේ කෝච්චි පෙට්ටියේ පලවෙනිම සීට් එකේ. ඒ කියන්නේ වැසිකිලිය අයියෙම තියෙන සීට් එකේ. දං මහ සද්දෙන් මෙ මනුස්සයා දත් මදුනවා. උගුර කාරනවා. අපිට දැං නිකං මෝල් වගේ.  මෙන්න ටික වෙලාවකින් බෑග් එක ගාවට ආපු මේ ඩයල් එක ආයේ අරගත්තේ බෑග් එකට අත දාලා රැවුල කපන රේසරයක්. අපිත් එක්ක හිනා වෙවී...
"රැවුල පොඩ්ඩක් කපං එන්නම් පුතාලා"
කියලා ආයේ දුම්රිය වැසිකිලියට රිංගා ගත්තා.. අපි එකිනෙකා මුනට මූන බලාගෙන. මූනකට හෝදලා රැවුලත් කපාගෙන අපේ ගාවට ඇවිත් අපේ සීට් එක ගාවම දැං ඒ මනුස්සයා ආයේ හිටගෙන ඉන්නවා.
හැටන් වලට කෝච්චිය එනකොට පාන්දර දෙක පහු උනා විතරයි



හැටන් වලින් සෑහෙන පිරිසක් කෝච්චියෙන් බැස්සා. අපි වාඩි වෙලා හිටියේ තුන් වෙනි පන්තියේ එක් ආසනයක තුන බැගින්  හය දෙනෙකුට වාඩි වෙලා යන්න පුලුවන් සීට් එකක. අපේ සීට් එකේ  කෙරවල දෙකේ හිටි දෙදෙනා හැටන් වලින් දුම්රියෙන් බැසගත්තා. ඉන් පස්සේ එක් කෙරවලක අපේ බන්ඩත් අනිත් කෙරවලේ අපේ අංකලුත් වාඩි උනා. 


දැං එක සීට් එකක මමයි, දිළුමයි,බන්ඩයි. අනිත් එකේ ජේකේ, චාමික එක්ක අර අංකල්. අංකල් ගාවම වාඩිවෙලා ඉන්නේ චාමික. චාමික ගාවින්ම අංකල් වාඩිවෙනවත් එක්කම ඉවරයිම තමා කියලා මට නිකමට වගේ හිතුනා. කෝච්චි පෙට්ටියේ අපි ඇරෙන්න ඔක්කොමලා වගේ හොඳ නින්දේ. හිටගෙන යන කීප දෙනත් සීට් එකට හේත්තු වෙලා නිදි.

"අංකල් කොහෙද මේ යන්නේ"
චාමික කතාව පටං ගත්තා..

"මම ගෙදර යනවා පුතා..නුවරඑළියේ තමා මයේ පවුල ළමයි ඉන්නේ."
අංකල් කැඩිච්ච සිංහලෙන් උත්තර දුන්නා. අංකල්ගෙ සිංහල කතා කිරිල්ල හරි අමුතුයි. 

"අංකල් මොනවැයි කරන්නේ කොලඹ?"
චාමිකත් ගාල්ලේ වචන සැට් එක බස්සන්න ගත්තා ඉතිං.

"මම කඩේක වැඩ කරන්නේ. ශිකුරාදා ගෙදර එනවා. ආයේ ඉරිදා රෑ කෝච්චියේ කොළඹ එනවා"
අංකල් කීවා.

"අංකල් හැමදාම මෙහෙම නිදියනවැයි කෝච්චියේ"
චාමිකත් ප්‍රශ්න පිට ප්‍රශ්න අහනවා

"ඔව්. වාඩිවෙන්න නැත්තම්, ඔන්න ඔහේ සීට් දෙකක් අතරේ තමා බුදියනවා"
අංකල් කීවා...

කොහොම හරි විනාඩි 15ක් විතර යනකොට අපේ චාමිකයි අංකලුයි ඊලඟ දවසේ අඩියක් ගහන්න සෙට් වෙන තරමට ලොවෙත් ෆිට්..

අපේ චාමික කොහොමත් කලාවට බර පොරනේ...
"අංකල් අර සිංහල  සින්දුවක් තියෙන්නේ මම ගන්නෙමී කරකාර බන්දාලා කියලා. එක දෙමළ සිංදුව අංකල් දන්නවාද?"
චාමික ඇහුවා ප්‍රශ්නයක්....

"ශා ශා පුතා.. මගේ කැමතිම සිංදුව තමා ඒක. ඒ කාලේ ඉඳං මට ලශ්ශන ඒක කියන්න පුළුවන්."
අංකල් කීවා.

"මරුනේ අංකල්. මගේ කැමතිම සින්දුවක් ඒක. අපි දෙන්නා කියමුද බලන්න"
චාමික කිවා..

මගේ එහා පැත්තේ හිටිය දිලුමා මට ඇඟිල්ලෙන් ඇන්නා. ඉස්සරහා හිටියා ජේකේ ගේ ඇස් දෙක උඩ ගියා.

වෙලාව පාන්දර දෙකහා මාරට විතර ඇති. කෝච්චි පෙට්ටියම නිදි..
නිදියගෙන හිටි අය උඩ ගිහින් ඇහැරෙන තරම් සද්දෙන් කෝච්චියේ සද්දෙටත් වඩා හයියෙන් අංකල් සින්දුව පටං ගත්තා....

මෙන්න වීඩියෝ එක

චාමික ft ආර් ගෝපාල් සාමි.
(අංකල්ගේ නම ගෝපාල් සාමි)

එක දිගට පැය භාගයක් විතර චාමිකත් අපේ අංකලුත් අත්පුඩි ගහමින් දෙමළ සිංහල සින්දු කියන්න ගත්තා. හිමින් නම් නෙමෙයි මහ සද්දෙන්..
සීට් වල වාඩි වෙලා හිටිය මිනිස්සු වගේම එහා පෙට්ටි වල නිදියං හිටිය උනුත් අපේ එකට ඇවිත් බලන තත්වෙටම තත්වේ දරුණු උනා.
යාන්තම් වැඳලා වගේ කියලා කියලා තමා අපි හතර දෙනා චාමිකගෙත් අංකල්ගෙත් කට වැස්සුවේ...
වටේ පිටේ නිදියං හිටිය මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනේ අනූ නවයයි  නවයේ දශමස්ථාන නවයකින් විතර...

අන්තිමට යාන්තම් නානුඔය ඉස්ටේසම පේන තෙක් මානයට ආවම තමා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ..
"අංකල් බහින්න කලින් තව එක පාරක් අරක කියමුද"
චාමික අංකල්ගෙන් ඇහුවා...

"අඩි යෙන්නඩී රාකම්ම්මා........"
මහ සද්දෙන් ආයේ දෙන්නා සිංදුව පටං ගත්තා...

මේ ට්‍රිප් එක කතා ලෝකයක්... තවත් කතාවක් එක්ක ලස්සන පින්තූර එකතුවක් අරගෙන අනෙක් පෝස්ට් එකෙන් හෙට හම්බ වෙන්නම්.

මේ තියෙන්නේ අපේ ඒ සුන්දර තුන්වෙනි පන්තියේ කෝච්චි පෙට්ටිය..



පලි : මම බලොග්කරණයට අලුත්.ඔයාලගේ කොමෙන්ටුවක් රටක් වටිනවා.....

Monday, November 12, 2012

වැව්බැඳි රාජ්‍යයට කැමරාවක්... (දෙවෙනි කොටස)



වැව් බැඳි රාජ්‍යට කැමරාවක් පෝස්ට් එකේ පළවෙනි කොටස පල කලේ මීට දින කීපයකට කලින්. මේ පෝස්ට් එක බ්ලොග් අවකාශය් ජායාරූප කරනයට් ඇලුම් කරන කස්ටිය සඳහායි. මේ දෙවෙනි කොටස. 

ඕලු, නෙළුම් මාර විදියට මාර්කට්. මලක් 10යි.





අපි ඊගාවට ගියේ ථූපාරාමයට



ඒ අතරේ වඳුරු පවුලක්. වන් හැපී ෆැමිලි..



එතනින් අපි ගියේ කුට්ටම් පොකුණ, සඳකඩපහන, සමාධි පිළිමය බලන්නයි.

කුට්ටම් පොකුණ



ලෝ ප්‍රකට අනුරාධපුර සඳකඩපහන.




සමාධි පිළිමය.





ඈතින් පේන්නේ ජේතවනාරාමය.



ලඟටම ගියා.





ඉපැරණි බුදු මැදුර.




දැවැන්ත වාහල්කඩ



කුසුමට ලංවී රොන් ගන්නා



රුවන්වැලි සෑ රජුන්ගේ සුවිසල් කොත් කැරැල්ල



සිල් මෑණියෝ




අභයගිරියට තමා ඊලඟට..





පැරණි ගල් කැටයම්




පට්ට බඩගිනියි.. කන්න මොකුත් බලමු...



අවසානයට ගියේ ඉසුරුමුණියට



ලෝ ප්‍රකට පෙම් යුවල




සුප්‍රසිද්ධ ඉසුරුමුණියේ ගල් කැටයම්.





අනුරාධපුර සංචාරයේ කැමරාවේ සටහන් වෙච්ච සුන්දර ඡායාරූ පෙලක අවසානය.

රැඳී සිටින්න සංචාරකයෝ සමඟින්...


Friday, November 9, 2012

බේබදුකමක මහත....



ට්‍රිප් එකක් යනවා කියන්නේ තනිකරම පිස්සු ආතල් ලෝකයකට යනවා වගේ වැඩක්. විශේෂයෙන් අපේ සැට් එකත් එක්ක ට්‍රිප් එකක් යනවා කියන්නේ ඉතිං ලොවෙත් සැප කනේ. මැරෙනකං හිනා වෙන්න පුළුවන්. ට්‍රිප් අතර සිද්දවෙච්ච රසබර කතාන්දර නම් එමටයි. එයින් එක කතාවක් මට මතක් උනා. මේක උනේ අපේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවක නම් නෙමෙයි. මේ මගේ ඔෆිස් එකේ යාළුවෝ පිරිසක් එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවක සිද්ධ වෙච්චර් රසබර සිද්ධියක්. මම අම්බානක බයිට් වෙච්ච සීන් එකක්. මේ සිද්ධිය උනේ 2010 අවුරුද්දේ.



මේ සිද්ධිය උනේ යාපනේ සංචාරය කල වෙලාවක. දින හතරක සංචාරයක්. තුන්වෙනි දිනේ හරියටම පෝය දවසක්. කොළඹින් අරගෙන ගිය දියරමය දෑ ඒ වෙනකොට ඉවරවෙලයි තිබුනේ. දේශීය නිශ්පාදකයා දිරිගැන්වීමේ උතුම් සිතුවිල්ල  පෙරදැරි කරගෙන,ඊටත් වඩා පෝය දවසේ මර්මස්ථාන සියල්ලක්ම වසා තිබීමත් හේතුකරගෙන වෙනසකටත් එක්ක හිතුවා රා ටිකක් බිව්වා නම් හොඳයි කියලා. අපි ඒ වෙනකොට හිටියේ කරෙයිනගර් වල. අපි යමින් හිටියේ සුන්දර කැසිනේ වෙලරතීරයට. යන අතරමග මුහුද අයිනේ මාලු වාඩි කීපයක් පේන්නට තිබුනා. ඒ හරිය ගම්මානයක් වගේ. කොහොම හරි බලෙන්ම වගේ වෑන් එක නවත්වගෙන ගියා මාත් එක්ක තව තුන් හතර දෙනෙක් රා හොයන්න. මාලුවාඩි වල මාලු තෝරමින් හිටිය මිනිස්සු එයාලාගේ පාඩුවේ වැඩ. මේ ඔක්කොමලා දෙමළ කට්ටිය. බැලූ බැල්මට සිංහල කතා කරගන්න පුළුවන් කෙනෙක් ඉදීද කියලා මම වටපිට බැලුවා. එහෙම කෙනෙක් මට නිච්චියට ආවේ නෑ. 

ලඟ හිටිය මනුස්සයෙකුගෙන් මම

 " අයියා මේ හරියේ රා විකුණන්න තියෙනවද?" 

කියලා ඇහුවා. මගේ මූන බලපු මනුස්සයා හිනා උනා විතරයි. මොකවත් කීවේ නෑ. ඒ ඩයල් එකට සිංහල තේරෙන්නේ නෑ කියලා මට ක්ලික් උනා. එතනින් එහා පැත්තේ වාඩියට ගිය මම එතන හිටිය තව එකෙකුගෙන් ඒ ප්‍රශ්නෙම ඇහුවා. 

"අයියේ රා තියෙනවද මේ හරියේ?"

 ටික වෙලවක් මගේ මූන බලං හිටිය ඒ ඩයල් එක මීටර 300ක් විතර ඈතිං තිබ්බ පොල් අතු වාඩියක් පෙන්නලා දෙමළෙන් මොනාදෝ කීවා. මට තේරුනා ඒ කිව්වේ ඒ වාඩියේ තියෙනවා කියන එක කියලා. දැං ඉතිං ඉහේ මලක් පිපුනා වගේ. එදා දවසේ වෙරි වෙන්නේ කොහොමද කියලා හිත හිත හිටිය අපි රටක් රාජ්‍යයක් දින්නා වගේ. දෙමළත් නොදැන රා හොයා ගත්තා කියන්නේ ආයේ ලොවෙත් මම වැඩර්... දැං ඉතිං මමත් ලොක්කා වගේ ඉස්සර උනා අරූ පෙන්නපු වාඩියට යන්න. 

අපි අතරේ හිටියා තරමක් දෙමළ තේරෙන එකෙක්. මට්ටක්කුලියේ ඉන්න ඌගේ නම සාන්ත. ඌට කීවේ බොරයා කියලා. වෑන් එකට ගිය මම බොරේට කතා කලේ දෙමළෙන් ගනං මිනුම් කියන්න මම දන්නේ නැති නිසා. 

 "අඩෝ බොරේ. බඩු හෑව් වරෙං යන්න. ගනං කතා කරන්න දෙමලෙං මම අංක දන්න එකක් යෑ. වරෙං යන්න අර වාඩියට"   

බොරෙත් මම පස්සෙන් වැටුනා. දැං ම්ම යනවා ඉස්සරහින් වැඩර් වගේ. වාඩියට කිට්ටු වෙනකොට එලියේ හිටගෙන හිටියා ඩයල් දෙකක්. පෙනුමෙන් නම් මුහුදු යන ඈයෝ වගේ. උං දෙන්නම අපිත් එක්ක සෑහෙන කාලයක් අඳුරගෙන හිටියා වගේ හිනා උනා. මමත් ඉතිං තිස් දෙකම පෙන්නලා හිනා වෙලා 

"අයියා රා තියෙනවාද?" 

කියලා ඇහුවා. 

" ඉරුක්කු ඉරුක්කු වාංග තම්බි වාංග.." (සිංහල  තේරුම : තියෙනවා තියෙනවා.. එන්න මල්ලි එන්න) 

කියපු මුං දෙන්නා අපිව වාඩිය ඇතුලට එක්කගෙන ගියා. වාඩිය පුරවටම තිබුනේ පොඩි පොඩි ඉස්සෝ. ඒ වෙලේ ගෙනත් ගොඩ ගහපු ඉස්සෝ. 

"තම්බී..පෙරිය රාල් ඉල්ලේ..සින්න රාල් තා  ඉරුක්කු" 

අර ඩයල් එක දෙමළෙන් මට කීවා. ඒක කීවා විතරයි බොරයා බඩ අල්ලගෙන මට හිනා වෙන්න ගත්තා. මට තේරුනේ නෑ ඌ මට දෙමළෙන් කිව්වේ මොකද්ද කියලා.

 "අයියේ මට ඕනේ රා" 

මම ආයේ අරුට කීවා.

 "ආමා අමා. පෙරිය රාල් ඉල්ලේ තම්බී" 

ආයේ මට අරූ දෙමළෙන් මොනාදෝ කියනවා. බොරයා ඇරෙන්න අනිත් උං ඔක්කොම තක්කු මුක්කු වෙලා. බොරයා හිනා වෙනවා. 

"මේ වරෙල්ලා බං යන්න. මූට මෝල්ද කොහෙද" 

කියපු මම අනිත් උං අරගෙන වෑන් එකට ගියා. බොරයා මට තවම හිනා වෙනවා. මොකක් හරි අවුලක් වෙලා කියලා මට තේරුනා. 

"මොකද්ද බං අරූ දෙමළෙන් කීවේ" 

බැරිම තැන මම බොරයගෙන් ඇහුවා. 

"යකෝ.. දෙමළෙන් රාල් කියන්නේ ඉස්සට. උඹ රා කියලා කියනකොට උං හිතලා තියෙන්නේ උඹ ඉස්සෝ හොයනවා කියලා. ඌ උඹට දෙමළෙන් කීවේ පොඩි ඉස්සෝ තමා අද තියෙන්නේ ලොකු ඉස්සෝ නෑ කියන එක. තෝත් ඉතිං ලෝඩ් පකීර් වගේ ගියානේ රා හොයන්න. ඇද්ද උඹට? "

බොරයා ඒක කීවා විතරයි වෑන් එකේ ඔක්කොම උං පොල් පොදියට හිනා වෙන්න ගත්තා..

මගේ රා බීමේ ආසාව එතනින්ම අහවර උනා...

කිලිනොච්චියට පායන හිරු. මේ වෙලේ නුවරඑළියේ වගේ සීතලයි කීවොත් විස්වාස කරනවාද? ගැහෙනවා..



සුන්දර කැසිනේ වෙරල තීරය.




මගේ ජීවිතේ කාපු රහම බත් වේලක්. නාගදීපේ අම්මාන් කෝවිල. හවස තුනට කලින් යන්න.



මේක ගැන ඉතිං අටුවා ටිකා ටිප්පනි ඕන නෑ නේ. 



මම සෑහෙන්න ගරුකරන ස්ථානයක්.


මේකේ සුපිරි රවුමක් ගියා


කවද හරි මෙතන දවසක් ගෙවනවාමයි



ප.ලි.      දැන් නම් ඕන දිල්ලියක යන්නම්. දෙමළ නම් ගේමක්ම නෑ ඉතිං (මට නම් තාම දෙමළ බෑ. ඒත් වයිෆ්ට හොඳට කතා කරන්න පුළුවන් භාශා තුනම. ඒ නිසා මේ ලංකාවේ ඕන අහක යන්න මම බය නෑ.)